ගෘහස්ථ විදුලිගාස්තු සංශෝධනය කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම එළැබෙන 17 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
ඒ මෙම පෙත්සම් සලකා බැලීම සඳහා නම් කර තිබූ විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙක් වන විනිසුරු ජනක් ද සිල්වා මහතා මෙම විනිසුරු මඩුල්ලට ඇතුළත්ව නොසිටීම හේතුවෙනි.
මෙම පෙත්සම් අද (15) කැඳවනු ලැබුවේ ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේය.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක, විදුලි බල හා පුනර්ජනනීය පාරිභෝගික සම්මේලනය, එහි සභාපතිවරයා සහ නිලධාරීන්, පූජ්‍ය මාතර ආනන්ද සාගර හිමි ඇතුළු 06දෙනෙකු විසින් පෙත්සම ගොනු කර තිබුණි.