ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් මගින් අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් වෙත පැන යාමට තැත් කළ ජාතිකත්වය හදුනා නොගත් විදේශිකයෙකු , කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැනීමට සූදානම් වන විට , එයින් මිදී පැන දුවන්නට වූ මෙම විදේශිකයා , ගුවන් තොටුපළ වහලයට නැග ගුවන් තොටුපළෙන් පිටතට දිව යමින් සිටියදී , ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් , ශ්‍රී ලංකා ගුවන් හමුදා කොමාන්ඩෝ භටයින්, ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සහ කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ නිලධාරීන් එක්ව සිදු කළ ලුහුබැදීමක ප්‍රතිඵලයක් ලෙස අල්ලා ගෙන අත් අඩංගුවට ගැනීමට 01/10 දින අලුයම සමත් වී තිබේ .
මොහු සුදු හම සහිත හැඩි දැඩි විදේශිකයෙකි . ඔහු 01/10 දින අලුයම 02.45 ට අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් වෙත යෑම සදහා ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 265 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
01/10 දින අලුයම 01.00 ට පමණ කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය වෙත පිවිසි මෙම විදේශිකයා ගුවන් ප්‍රවේශ පත්‍රය ද ලබා ගැනීමෙන් අනතුරුව , විගමන කවුළුව වෙත පැමිණියේ , තම ලියකියවිලි නිශ්කාශනය කර ගැනීමටය .
එහිදී ඔහු ඉදිරිපත් කළ ෂීෂෙල්ස් ජාතික ගුවන් ගමන් බලපත්‍රය පිළිබඳව සැක සිතූ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් , එම දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත තාක්ෂණික පරීක්ෂණ සදහා යොමු කර තිබේ .
ඒ අතරතුර මෙම විදේශිකයාගෙන් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රශ්න කිරීම් සිදු කරමින් සිටියදී , එකවරම ඔහු හිදගෙන සිටි පුටුවෙන් නැගිට , පිටත්වීමේ පර්යන්තය ඔස්සේ දිව යන්නට වූයේ , චිත්‍රපට දර්ශනයක මෙන් ආගමන විගමන නිලධාරීන් වික්ෂිප්ත කරමිනි .
පිටත්වීමේ පර්යන්තය ඔස්සේ දිව යමින් සිටි මොහු රේගු පරිශ්‍රය ඔස්සේ ද දිව යමින් , ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂක වැටවල් උඩින් පනිමින් , දිව යන්නට විය.
මේ සදහා මොහුට ගත වී තිබුණේ තත්පර 02 ක තරම් සුළු කාළයක් පමණි.
එහිදී වහාම ක්‍රියාත්මක වූ ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ එවකට රාජකාරී කරමින් සිටි ආගමන විගමන දෙපාර්තමේන්තු බළලත් නිලධාරීවරයා ,
මේ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ ගුවන් හමුදා කදවුර , ගුවන් තොටුපළ පොලීසිය සහ ගුවන් තොටුපළ ආරක්ෂක ප්‍රධානීන් දුරකථන ඔස්සේ දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි .
ඒ වනවිටත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සිව් දෙනෙකු සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් ද , මොහු පිටුපස ලුහුබදිමින් , හඹා යමින් සිටින්නට විය .
ඒ සැනින් මෙම විදේශිකයා , එකවරම , අසළ ඇති තාප්පයකට නැග , එයින් ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ වහළයට නැග , ඒ මත සැගවී සිටින්නට වී තිබේ .
මේ බැව් ගුවන් තොටුපළ ආරක්ෂක කැමරා නිරීක්ෂණය කරමින් සිටි , ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් නිරීක්ෂණය කර , වහාම මොහු එම වහළයේ සැගවී සිටි ස්ථානය වෙත ගුවන් හමුදා කොමාන්ඩෝ භට පිරිසක් යොමු කර තිබේ .
එවිට මෙම විදේශිකයා , එම වහළය මත දිව ගොස් , කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යන මාර්ගයට පැන , ගුවන් තොටුපළෙන් පිටතට පළා යෑමට සූදානම් වී තිබේ .
මේ වනවිට මෙම ත්‍රාසජනක ක්‍රියාවලියට පැයක පමණ කාළයක් ගත වී තිබුණි .
ඒ වනවිට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් , ගුවන් හමුදා කොමාන්ඩෝ භට පිරිස් , ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විශාල පිරිසක් මොහු වට කර තිබුණි .
එසේම ගුවන් තොටුපළ පිටතට යාමට අවකාශ ඇති සියලුම ස්ථාන වල ආරක්ෂාව තර කිරීමට ද පියවර ගෙන තිබුණි .
ඒ අනුව 01/10 දින අලුයම 02.15 ට පමණ මෙම හදුනා නොගත් විදේශිකයා , ගුවන් තොටුපළ පිටතට යාමේ දොරටුව අසළ දී මෙම නිලධාරීන් පිරිස විසින් අත් අඩංගුවට ගැනීමට සමත් වී තිබුණි .
මෙම විදේශිකයාගේ ගෙල ප්‍රදේශයේ පැහැදිලිව පිටතට පෙනෙන සේ 4693 ලෙස සදහන් අංකයක් පච්ච කොටා තිබුණි .
මොහු විදේශික බන්ධනාගාරයකින් පළා ආ පුද්ගලයෙකු හෝ විදේශීය රටකට අත්‍යාවශ්‍ය පුද්ගලයෙකු (Wanted Person ) හෝ කිසියම් ජාත්‍යන්තර ත්‍රස්තවාදී කල්ලියක සාමාජිකයකු විය හැකි බවට ගුවන් තොටුපළ ආරක්ෂක අංශ සැක පහළ කරති .
විශේෂයෙන්ම තාප්පය දිව යාම වහළයෙන් වහළයට පැන යාම , ගුවන් තොටුපළ පරිශ්‍රයේ ආරක්ෂක නිලධාරීන්ට අභියෝග කරමින් දිව යාම වැනි කටයුතු , මේ පිළිබඳව මනා පුහුණුවක් ලද පුද්ගලයෙකුට පමණක් සිදු කළ හැකි ක්‍රියාදාමයන් වේ .
මෙසේ අත් අඩංගුවට ගත් මෙම පුද්ගලයා මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා භාර දී තිබේ .