සිය ගුවන් යානයක් රඳවා තබා ගැනීමේ සිද්ධියට විරෝධය පළකර කොළඹ සහ රුසියාවේ මොස්කව් දක්වා සිදුකරන ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට රුසියාවේ එරොෆ්ලොට් ගුවන් සේවය තීරණය කර තිබෙනවා.
ප්‍රවේශපත්‍ර අලෙවියද වහා නතර කිරීමටයි ඔවුන් කටයුතු යොදා ඇත්තේ.
රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවාවට අයත් ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය පසුගියදා වාරණ නියෝගයක් නිකුත් කලා.
කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා විසින් වගඋත්තරකාර රුසියානු ගුවන් සමාගම වෙත මෙම වාරණ නියෝගය නිකුත් කළේ, අයර්ලන්තයේ පිහිටි සමාගමක් ගොනු කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුවයි.
මෙම වාරණ නියෝගය ලබන 16 වැනිදා දක්වා බලපැවැත්වෙන බව ද එම නියෝගයේ සඳහන්.
පැමිණිලිකාර සමාගම සඳහන් කරන්නේ, වගඋත්තරකාර රුසියානු ගුවන් සමාගම සමග තමන්ගේ බේරුම්කරණ නඩුවක් පවතින බවයි.
එබැවින් වගඋත්තරකාර ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් ශ්‍රී ලංකාවෙන් ඉවත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පැමිණිලිකාර සමාගම අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.
එම පැමිණිල්ල සලකා බැලීමෙන් අනතුරුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරුවරයා විසින් එම වාරණ නියෝගය නිකුත් කලා.
මේ අතර ශ්‍රී ලංකා බලධාරීන් විසින් සිය ගුවන් යානයක් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් රුසියාව, එරට සිටින ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මිය රුසියානු විදේශ අමාත්‍යාංශයට කැඳවා, සිය අප්‍රසාදය පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කලා.
රුසියානු විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබුණා.
මේ අතර කොළඹ පිහිටි එරොෆ්ලොට් සමාගමේ කාර්යාලය ප්‍රකාශ කළේ දැනට රඳවා ඇති රුසියානු ගුවන් යානයේ සියලූ මගීන් අද (04) සහ හෙට (05) රුසියාව වෙත යළි පිටත් කර යවන බවයි.
ඒ අනුව රුසියාවේ මොස්කව් බලා පිටත්ව යන වෙනත් ගුවන් යානාවල මෙම පිරිස පිටත් කර යැවීමට නියමිතයි.
කල්බදු ගැටළුවක් මත රුසියානු ගුවන් යානය ශ්‍රී ලංකාවෙන් පිටවීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය අත්හිටුවන ලෙස එම රුසියානු ගුවන් සමාගම කල ඉල්ලීම ලබන බදාදා විභාග කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය ඊයේ නියෝග කලා.
