රටේ ඉදිරි වසර 25 සඳහා රජයේ නව ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළ සමඟ 75 වන ජාතික නිදහස් උළෙල අභිමානවත් අයුරින් සැමරීමට රජය තීරණය කර තිබේ.
“නමෝ නමෝ මාතා – සියවසකට පියවරක්” තේමාව යටතේ පැවත්වෙන මෙම අභිමානවත් උළෙලේදී 2048 වසරේ 100 වන නිදහස් දිනය දක්වා නොවෙනස් රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඉදිරි වසර 25 සඳහා රජයේ නව ප්‍රතිසංස්කරණවාදී ගමන් මග ප්‍රකාශයට පත් කිරීමට ද නියමිතය.
ජාතික නිදහස් සැමරුම් ප්‍රධාන උත්සවය පෙබරවාරි 04 වනදා පෙ.ව 8.30ට ගාලුමුවදොර පිටියේ දී ආරම්භ කෙරේ.
නිදහස් චතුරශ්‍රයේ පිහිටි මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිඳුන්ගේ පිළිරුවට මල්දම් පළඳවා පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි ජාතික විරුවන්ගේ ප්‍රතිමා සඳහා පුෂ්පෝපහාර දැක්වීමෙන් පසුව උත්සව කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
75 වන ජාතික නිදහස් උත්සවයට සමගාමීව සංස්කෘතිකාංග සහ ආගමික වැඩසටහන් රැසක් දීපව්‍යාප්තව සංවිධාන කර තිබීම ද විශේෂත්වයකි.
ශ්‍රී දළදා ප්‍රදර්ශනයක් ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ දී මාර්තු මාසයේ පැවැත්වීමටත්, කපිල වස්තු සර්වඥ ධාතුන්වහන්සේ වැඩම කරවීම සහ ප්‍රදර්ශනය මැයි මාසයේ කොළඹ නගරයේ දී පැවැත්වීමටත්, චීනයේ වැඩසිටින සර්වඥ ධාතුන්වහන්සේ වැඩම කරවීම සහ ප්‍රදර්ශනය ජුනි මාසයේ දී අනුරාධපුර නගරයේ දී පැවැත්වීමටත්, පාකිස්ථානයේ වැඩසිටින සර්වඥ ධාතුන්වහන්සේ වැඩම කරවීම සහ ප්‍රදර්ශනය ජූලි මාසයේ දකුණු පළාතේ දී පැවැත්වීමටත් මීට සමගාමීව කටයුතු සංවිධාන කර තිබේ.
