හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවේ සිට තායිලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා.
සිංගප්පූරු ආගමන විගමන අංශ උපුටා දක්වමිනුයි එරට වාර්තා ඒ බව සඳහන් කලේ.
ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රැඳී සිටීම සඳහා දී තිබූ තාවකාලික අවසර පත්‍රය අදින් කල් ඉකුත් වනවා.
මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තයට පැමිණ රැඳී සිටිනුයේ තාවකාලික පදනමින් බව එරට අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඔචා මහතා ප්‍රකාශ කර තිබෙනවා.
අනතුරුව හිටපු ජනාධිපතිවරයා වෙනත් රටක ස්ථිර රැකවරණය අපේක්ෂා කරනු ඇති බවයි තායි අගමැතිවරයා උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කලේ.
මානුෂීය හේතුන් මත ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තයට පැමිණෙන බව බැංකොක් පෝස්ට් පුවත්පත වාර්තා කර තිබෙනවා.
එරටදී කිසිදු දේශපාලන ක්‍රියාකාරකමක නිරත නොවීමට ගෝඨාභය රාජපක්ෂ මහතා එකගතාවය පළකර ඇති බවයි තායි අගමැතිවරයා සඳහන් කර ඇත්තේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තායිලන්තයට ඇතුලුවීමට අවසර දෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් ලැබී ඇතැයි එරට විදේශ කටයුතු අමාත්‍යංශය ඊයේ තහවුරු කලා.
2013 වසරේදී ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ඇතිකරගත් එකගතා ගිවිසුමකට අනුව රාජ්‍ය තාන්ත්‍රික බලපත්‍රයක් ඇති බැවින් හිටපු ජනාධිපතිවරයාට වීසා රහිතව දින 90 ක කාලයක් තායිලන්තයේ රැඳී සිටීමට අවසර හිමිවන බවද විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා පෙන්වා දෙනවා.
