පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතාට අද (28) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.
අද පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි මන්ත්‍රීවරයාට දන්වා ඇත්තේ.
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාලව ඉකුත් අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා මීට පෙර අවස්ථාවකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවනු ලැබුවා.
එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා හරීන් ප්‍රනාන්දු මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කලා. ඒ අනුව සැප්තැම්බර් 1 වනදා දක්වා ඔහු අත්අඩංගුවට නොගන්නා බවට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබුණා.
මේ අතර අද පෙරවරු 10.00 ට පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යන අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගී වන බවයි විපක්ෂ නායක මාධ්‍ය ඒකකය නිවේදනය කලේ.