ජනතාව රැස්වන සංඛ්‍යාව සීමා කිරීම් ඇතුලු රෙගුලාසි ගණනාවක් අඩංගු කරමින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ජනතාවගේත් තමන්ගේත් මූලික අයිතිවාසිකම් කඩවන බව දක්වමින් ඊට වන්දි වශයෙන් රුපියල් කෝටියක් ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
එහි වගඋත්තරකරුවන් වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර, සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් අසේල ගුණවර්ධන, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න යන මහත්වරුන් සමග නීතිපතිවරයායි නම් කරනු ලැබ සිටින්නේ.
සමගි ජන බලවේගය විසින් ජනතා ගැටලු මුල්කර ගනිමින් පසුගිය නොවැම්බර් 16 වැනි දින කොළඹ හයිඩ් පිටියේ පැවැත්වීමට සංවිධාන කර තිබූ විරෝධතා රැළියට දින කිහිපයකට පෙර මෙම රෙගුලාසි නිකුත් කර ඇතැයි පෙත්සමේ සඳහන්.
මෙම රෙගුලාසි නිකුත් කිරීමේ යටි අරමුණ වන්නේ විරුද්ධ පක්ෂයේ නීත්‍යානුකූල රැස්වීම් කඩාකප්පල්කාරී කිරීම බවටද පෙත්සම්කරු චෝදනා කර සිටිනවා.
කෙසේනමුත් කොළඹ තුරග තරග පිටියේ පැවැති පාපන්දු තරගාවලියකටත් – ආගමික උත්සවයකටත් අති විශාල පිරිසක් සහභාගී වීමට ද රජයෙන් අවසර ලැබී තිබු බවයි රංජිත් මද්දුමබණ්ඩාර මහතා අවධාරණය කරන්නේ.
මෙවැනි තත්ත්වයක් තුළ සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බැවින් ඊට වන්දි ලෙස රුපියල් කෝටියක වන්දි මුදලක් අය කර දෙන ලෙසටයි සමගි ජන බලවේගයේ මහ ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.