සුඩානයේ හටගෙන ඇති ගැටුම්කාරී තත්ත්වය හමුවේ එහි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු මුදවා ගැනීමට සමත්ව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
මෙම කටයුත්තට සෞදි අරාබි රජයේ සහය ලැබී ඇති බවත් එලෙස මුදවා ගනු ලැබූ ලාංකිකයින් 13 දෙනා ජෙඩා අගනුවරදී ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය කොන්සියුලර් ජනරාල්වරයා වෙත භාරදී ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ.
මේ සුඩාන වරායේ තවත් ශ්‍රී ලාංකිකයින් 12 දෙනෙකු රැඳී සිටින බවත් ඔවුන්ව ද ආරක්ෂා සහිතව මුදවා ගැනීමට කටයුතු කරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.
ඊජිප්තුවේ, කයිරෝවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ සුඩානයේ, කාර්ටූම් හි ශ්‍රී ලංකා පිහිටි ගෞරවනීය කොන්සාල් නිලධාරීන් විසින් අඛණ්ඩව සුඩාන බලධාරීන් සහ කාර්ටූම් හි ඉන්දීය තානාපති කාර්යාලය ඇතුළු කාර්ටූම් හි සෙසු පාර්ශ්වයන් සමඟ සම්බන්ධ වෙමින් එරට සිටින ලාංකික පුරවැසියන් ආරක්ෂිතව ඉවත් කර ගැනීම සඳහා නිරන්තර සම්බන්ධකම් පවත්වන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.
සුඩානයේ සිටින ලාංකිකයින් මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව, සෞදි අරාබිය ඇතුළු මිත්‍ර පාර්ශවිය රටවල් සමග එක්ව කටයුතු කරනු ලබන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
සුඩානයේ අස්ථාවර ආරක්ෂක තත්වයක් සැලකිල්ලට ගනිමින් කාර්ටූම් හි ඉතිරිව සිටින ලාංකිකයන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය සෑම උත්සාහයක්ම ගනිමින් සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ.
මේ අතර හදිසි අවස්ථාවන් හිදී තොරතුරැ ලබා ගැනීම සඳහා පහත දැක්වෙන අංක ඔස්සේ කාර්ටූම් හි ශ්‍රී ලංකා ගරු කොන්සල් කාර්යාලයේ ලේකම් සයීඩ් අබ්දෙල් දුරකථනය +249912394035 සම්බන්ධ කර ගත හැකි බවත්, කයිරෝවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට විද්‍යුත් තැපෑලෙන් : [email protected] සහ දුරකථන +201272813000 ඔස්සේ සම්බන්ධ විය හැකි බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටියි.