අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය නීත්‍යනුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් සහ මුදල් අයථා ලෙස අත්පත් කර ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහි නඩු විභාගය ජුනි මස 17 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය අද නියම කලා.
ඒ එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදියි.
එහිදී විත්තිකාර විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා අසනීප තත්ත්වයෙන් පසු වන හෙයින් විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ අනුව නඩු විභාගය ජුනි මස 17 සහ 28 යන දිනවලදී සිදුකිරීමට තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා එදින සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරනු ලැබුවා.
2010 ජනවාරි මස 01 වනදා සිට 2014 වසරේ දෙසැම්බර් මස 31 වනදා දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය නීත්‍යානුකූල හා ආදායම අභිබවා රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් සහ මුදල් අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් විමල් වීරවංශ මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.
