විදුලි ගාස්තුව නැවතත් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී පැය විසිහතරක් ඇතුළත විදුලි පාරිභෝගිකයන්ට සියලුදෙනාම පාරට බස්සා දැවැන්ත විරෝධතාවයක් ආරම්භ වන බව ලංකා විදුලිබල මන්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
එසේ විරෝධතා කැඳවා විදුලි ගාස්තු වැඩි කිරීමේ තීරණය ආපස්සට හරවන බවද සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පැවසීය.
විදුලි පාරිභෝගිකයන් ලක්ෂ හැත්තෑ හතරක් මෙරට තුළ සිටින බවත් ජනවාරි මාසයේදී විදුලි ගාස්තු ඉහළ දැම්මොත් පාරිභෝගිකයන් සියලු දෙනාට එය දරා ගත නොහැකි බවද හෙතෙම කියා සිටියේය.
රජය උත්සහ කරනු ලබන්නේ මාස හයෙන් හයට විදුලි ගාස්තු ඉහල දැමීමට බවද පැවසූ ඔහු ජනවාරියේදී විදුලි බිල ඉහළ දැමීමට ඉඩ දුනහොත් මැයි මාසයේදී ද යළිත් එය සිදුකරන බවද කියා සිටියේය.
පාලකයන් මේ සූදානම් වන්නේ වෙන කිසිවකට නොව විදුලිය හදිසි මිලදීගැනීම් යටතේ පුද්ගලික බලාගාරවලින් විදුලිය ගැනීමේ ජාවාරම දිගටම කරගෙන යාමට බවද ඔහු තවදුරටත් පැවසීය.
