වසර 31 කට පෙර දී පියෙකු සහ පුතෙකු ඝාතනය කර අතුරුදන් කිරීම සම්බන්ධයෙන් 64 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය ඉකුත් මස 29 වනදා අත්අඩංගුවට ගත් සැකකරුගේ බිරිඳ බව පොලීසිය සඳහන් කරයි.
මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ 47 හැවිරිදි කරුණාරත්නලාගේ රාජා සහ 21 හැවිරිදි කරුණාරත්නලාගේ රංජිත් කුමාර යන පියපුතු දෙපළ ය.
මොරටුව මෙන්ඩිස් මාවතේ නිවසක් තුළදී පියා ඝාතනය කර තිබූ අතර පුතු ඝාතනය කර තිබුණේ පිළියන්දල දම්පේ ප්රදේශයේ බොල්ගොඩ ගඟ අසල දී ය.
මියගිය අයවලුන්ට අයත්ව තිබූ මොරටුව මෙන්ඩිස් මාවතේ නිවස පිහිටි පර්චස් 12 කින් යුත් ප්රමාණයක ඉඩම අත්පත් කර ගැනීම සඳහා මෙම ඝාතනයන් සිදුකර තිබිණි.
ඝාතනයට ලක්වූ කරුණාරත්නලාගේ රාජා නැමැත්තාගේ දෙවෙනි පුතුගේ බිරිඳ පොලිස්පතිවරයාට කරන ලද ලිඛිත පැමිණිල්ලකින් අනතුරුව බස්නාහිර පළාත දකුණු අපරාධ කොට්ඨාසයේ කණ්ඩායමක් සිදුකළ විමර්ශනවලින් අනතුරුව සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකාරිය අද (09) කැස්බෑව මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
