වසර 20 ක ඇෆ්ඝන් මෙහෙයුම් නිමාවට පත් කරමින් අමෙරිකානු අවසාන යුධ ගුවන් යානයත් කාබුල් අගනුවරින් පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව ඇෆ්ඝනිස්ථානය තුළ අමෙරිකානු ක්‍රියාකාරකම් නිල වශයෙන් නිමාව සනිටුහන් වන බවයි එරට මෙහෙයුම් භාරව කටයුතු කල ජනරාල් ෆ්රෑන්ක් මැකෙන්සි සඳහන් කලේ.
පසුගිය අගෝස්තු 14 වනදා සිට මේ දක්වා අමෙරිකාව විසින් ඇෆ්ඝනිස්ථානයෙන් සිවිල් වැසියන් 123,000 ක් පමණ ඉවත් කරගෙන තිබුණා.
2001 වසරේදී ආරම්භ වූ තලේබාන් සංවිධානයට එරෙහි මෙහෙයුම් වසර 20 ක් පුරා පැවති අතර එය මේ දක්වා අමෙරිකාව සිදුකල දීර්ඝතම යුද්ධයයි.
මෙම කාලසීමාව තුළදී මියගිය අමෙරිකානු සෙබලුන් ගණන 2400 කට අධිකයි.
වැය කර තිබූ මුදල ඩොලර් බිලියන 822 කට ආසන්නයි.
කාබුල් වේලාවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියට විනාඩියක් තිබියදී අවසන් අමෙරිකානු ගුවන් යානයද පිටත්ව ගිය අතර එය සමරමින් තලේබාන් සංවිධානය විසින් අහසට වෙඩි තබා ඇති බවයි ඇෆ්ඝන් වාර්තාවල දැක්වෙන්නේ.
කාබුල් ගුවන් තොටුපළෙන් අමෙරිකානු හමුදා නිල වශයෙන් ඉවත් වීමත් සමග අමෙරිකානු සිවිල් ගුවන් යානා සඳහා තවදුරටත් ඇෆ්ඝන් ගුවන් කලාපය භාවිත කිරීමට අවසර හිමිවන්නේ නැහැ.
මේ අතර ඇෆ්ඝනිස්ථානය තුළ මෙහෙයුම් දීර්ඝ නොකිරීමට ගත් හේතු පැහැදිලි කරමින් අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා අද ජාතිය ඇමතීමටද නියමිතයි.
