ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී නීත්‍යානුකූල නොවන විවිධ මාර්ගවලින් විදේශ ගතව රට රැකියාවල නියුතුවන සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගතව ලියාපදිංචි කාලය ඉක්මවූ පසු ලියාපදිංචිය යාවත්කාලීන නොකර තවදුරටත් විදේශ රැකියාවල නියුතු වන ශ්‍රි ලාංකික විගමණික ශ්‍රමිකයින්හට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීම සඳහා විශේෂ සහන කාලයක් ප්‍රකාශයට පත්කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර ඇත.
ලියාපදිංචි විගමනික ශ්‍රමිකයින්ට හිමිවන සුබසාදන හා රක්ෂණ ප්රතිලාභ මෙම පිරිසටද හිමිකර දීමේ අරමුණෙන් මෙම විශේෂ සහන කාලය ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර ඇති අතර, නොවැම්බර් මස 15 දින සිට දෙසැම්බර් 14 දක්වා මාසයක කාලය තුළ පමණක් මෙලෙස ලියාපදිංචිවීමට අවස්ථාව හිමිවේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී ලොව ඕනෑම රටක විදේශ රැකියාවක නිරත වන ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් තමා සේවයේ නියුතු රටේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයට පැමිණ වලංගු වීසා බලපත්‍රය සහ රැකියා ගිවිසුම හෝ පත්වීම් ලිපිය ඉදිරිපත් කර අදාළ ගාස්තුව ගෙවා ලියාපදිංචිය ලබාගත හැකිය. රැකියා ගිවිසුම හෝ පත්වීම් ලිපිය නොමැති ශ්‍රමිකයින් හට තානාපති කාර්යාලයේදී ලබාදෙන ප්‍රකාශ පත්‍රය පුරවා ලියාපදිංචිය ලබාගත හැකිවේ.
රැකියා සඳහා විදේශ ගතවීමේදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවීමට සපුරාලිය යුතු කොන්දේසි සපුරාලීමට නොහැකි පුද්ගලයින් විවිධ තැරැව්කරුවන් මාර්ගයෙන් මෙලෙස නීති විරෝධි අයුරින් විදේශ ගතවේ.
මෙලෙස විදේශ ගතවන්නන් ගැටළුකාරී තත්ත්වයන්ට මුහුණ දුන් පසු සහනයන් හා සේවාවන් බලාපොරොත්තුවෙන් තානාපති කාර්යාලයට පැමිණෙන අතර, කාර්යාංශයේ ලියාපදිංචි වී නොමැති නිසා ඔවුන්ට අවශ්‍ය සහන හා සේවාවන් ලබාදීමට නීත්‍යානුකූල බාධාවන් පැමිණේ.
තවද විදේශ ගතව රැකියාවල නිරත වෙමින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ප්‍රේෂණය කරමින් ආර්ථිකය පෝෂණය කිරීමට සුවිශේෂි දායකත්වයක් දක්වන විගමණික සේවක ප්‍රජාව හා ඔවුන්ගේ යැපෙන්නන් වෙනුවෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පිරිනමන සුභසාධන ප්රතිලාභ හා රක්ෂණ ප්රතිලාභ පිරිනැමීමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය නොමැති වීම හා ලියාපදිංචිය යාවත්කාලීන නොකිරීම හේතුවෙන් ප්රතිලාභ පිරිනැමීමට නොහැකි වේ.
එම තත්ත්වයන් අවම කර ගැනීම සඳහාත් නීති විරෝධිව විදේශ රැකියාවල නියුතු ශ්‍රමිකයින් සංඛ්‍යාව හැකිතාක් අවම කර ගැනීම සඳහාත් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙම සහන කාලය ප්‍රකාශයට පත් කර ඇත.