පෙබරවාරි 17 වනදා දක්වා කිසිදු ආකාරයක විදුලි කප්පාදුවක් සඳහා අවසර ලබා නොදෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.
එහි සභාපති ජනක රත්නායක පැවසුවේ උසස් පෙළ විභාගයට පෙනී සිටින 331,000 සිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි.
කෙසේවෙතත් අද සිට යලිත් පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලා තිබෙනවා.
මේ අතර ජාතික විභාග පැවැත්වෙන අවස්ථාවලදී විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ද ශ්‍රේෂ්ඨාධිකරණයට අද පෙත්සමක් ඉදිරිපත් කළා.
එහි වගඋත්තරකරුවන් ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා, ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම ද අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
