මෙරට යම් පුද්ගලයෙකු යම් රැකියාවක යෙදවිය හැකි වයස් සීමාව අවුරුදු 18 දක්වා ඉහළ දැමීමට අදාළ නීති ඉදිරි මාස තුන ඇතුළත බලාත්මක කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
ඒ සඳහා ස්ත්‍රීන් / තරුණයන් හා ළමයින් සේවයේ යෙදවීමේ පනත යටතේ හඳුන්වාදීමට නියමිත නියෝග මගින් අන්තරායකර රැකියා ලැයිස්තු සංශෝධනය කිරීමට අවශ්‍ය නියෝග නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් සකස් කරමින් පවතින බවයි අමාත්‍යවරයා පවසන්නේ.
බාල වයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යෙදවීම හා ගෘහස්ථ සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව පැවති සාකච්ඡාවකදී නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව අනාවරණය කලා.
කම්කරු දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය, ළමා හා කාන්තා කාර්යාංශය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණා.
ඉදිරියේදී සිදුකිරීමට සැළසුම් කර ඇති නීති සංශෝධන මගින් ගෘහ සේවය අන්තරාදායක රැකියා ලැයිස්තුවට ඇතුලත් කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදී කියා සිටියේ.
මෙහෙකාර සේවයේ යොදවා ඇති බාලවයස්කාර දරුවන් පිළිබද විශේෂ සමීක්ෂණයක් ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කලා.
ගෘහ සේවයේ යෙදෙන තැනැත්තන්ගේ සේවා සුරක්ෂිතතාව වෙනුවෙන් නීති මාලාවක් සකස් කිරීමටද අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදී ප්‍රකාශ කළා.