මෙරට ආර්ථික ප්‍රවර්ධනය වෙනුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලබාදෙන බව එහි උප සභාපති ෂික්සිත් චෙන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පොරොන්දු වී තිබෙනවා.
ඒ ඊයේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදීයි.
ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව දැනට මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘතිවල සාර්ථකත්වයද ෂික්සිත් චෙන් මහතා ඇගයීමට ලක් කර තිබෙනවා.
රාජ්‍ය සංස්ථා කිහිපයක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ආධාර ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව අපේක්ෂා කරන බවයි ඔහු සදහන් කර ඇත්තේ.
ආසියානු සංවර්ධන බැංකුව මෙම වසර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 786ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙන් කර තිබෙනවා.
ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සම්මේලනය රටවල් 68ක නියෝජනයෙන් ලබන මැයි 02 සිට 05 වෙනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමටද නියමිතයි.
දේශීය සහ විදේශීය නියෝජිතයන් 5,000 ක පමණ පිරිසක් ඊට සහභාගී වෙතැයි අපේක්ෂා කෙරෙන අතර සමුළුව පශ්චාත් කොවිඩ් – 19 ලෝකය සඳහා කාලගුණ විපර්යාසයන්ට ඔරොත්තු දෙන හරිත ආර්ථිකයක් යන තේමාව ඔස්සේ පැවැත්වෙනු ඇති.
මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථකකරගැනීමට ආසියානු සංවර්ධන බැංකුව ලබාදුන් සහාය වෙනුවෙන් රජයේත් ජනතාවගේත් කෘතවේදීත්වය පිරිනමන බවයි ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී සඳහන් කර ඇත්තේ.