නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දෙස් විදෙස් පාර්ශව රැසක් සුභ පැතුම් පිරිනමා තිබෙනවා.
ට්විටර් සටහනක් තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියාසිටියේ අසීරු අවධියක අභියෝගාත්මක වගකීමක් භාරගත් ඔහුට තම සුභ පැතුම් පිරිනමන බවයි.
ශ්‍රී ලංකාව නැවතත් ශක්තිමත් රාජ්‍යයක් බවට පත් කිරීම සඳහා වික්‍රමසිංහ මහතා සමග එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කලා.
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද නව අග්‍රාමාත්‍යවරයාට සුභ පැතුම් පළ කර තිබුණේ ට්විටර් සටහන් නිකුත් කරමිනුයි.
කොළඹ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චංග් සඳහන් කලේ රනිල් වික්‍රමසිංහ මහතා සමග සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.
දැනට පවතින අර්බුද විසඳීමටත් ස්ථාවරත්වය ප්‍රවර්ධනයටත් නව පත් කිරීම සහ ඉදිරියේදී පත් කෙරෙන කැබිනට් මණ්ඩලය හරහා ඉවහල් වනු ඇති බවයි තානාපතිනිය පෙන්වා දෙන්නේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අර්ථවත් වැඩපිළිවෙලක් ඇති කරගනු ඇතැයිද සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා සපුරාලන දීර්ඝ කාලීන විසඳුම් කරා එළඹෙනු ඇතැයිද අමෙරිකානු තානාපතිනී ජූලි චංග් විශ්වාසය පළකරනවා.
රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන්ට අනුකූලව පිහිටුවන ශ්‍රී ලංකා රජය සමග කටයුතු කිරීමට අපේක්ෂා කරන බව කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.
ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ඉන්දියාවේ කැපවීම තවදුරටත් අඛණ්ඩව පවතිනු ඇති බවත් දේශපාලන ස්ථාවරත්වය බලාපොරොත්තු වන බවත් ඔවුන් නිකුත් කර ඇති ට්විටර් සටහනක සඳහන්.
