යාපනයේ ඩෙල්ෆ්ට් අකුරුතුරෙයි ප්‍රදේශයේ නිවසක් තුළ තිබී කපා කොටා ඝාතනය කළ පුද්ගලයින් පස් දෙනෙකුගේ මළ සිරුරු පහක් පොලිසිය විසින් සොයා ගැනීමෙන් පසුව එම සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන එක් පුද්ගලයෙකු පොලීසිය විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබේ.
එම පුද්ගලයා ඝාතනය සිදු වූ නිවසේම කලක් නතර වී සිටි පුද්ගලයෙකු වන අතර ඔහුව ජර්මනියෙන් පිටුවහල් කිරීමෙන් පසුව සිට යාපනයට පැමිණ තිබේ.
මේ තත්ත්වය මත ඔහු මානසික රෝගියෙකු බවට පත්ව සිටි අතර නිතරම ඔහු මෙම නිවසට ආගිය අයෙකු බවත් සිද්ධිය සම්බන්ධයෙන් ඩෙල්ෆ්ට් පොලීසිය ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින බවයි වාර්තාකරු සඳහන් කළේ.
නිවසේ සිටි හය දෙනාගෙන් පස් දෙනෙකුම ඝාතනයට ලක් වී සිටි අතර එක් කාන්තවක් පමණක් බරපතල ලෙස තුවාල ලබා තිබේ.
බරපතල ලෙස තුවාල ලබා සිටින කාන්තාව වයස අවුරුදු 100 ක් පමණ වන කනකම් පූර්ණී නැමති වයෝවෘද්ධ කාන්තාවක් වන අතර ඇයව ඩෙල්ෆ්ට් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඇයව යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කොට යවා තිබේ.
මරණයට පත්ව සිටින සියලුම දෙනා වයස අවුරුදු 75 ඉක්මවන ලද අය වන අතර ඔවුන්ව ලන්ඩන් පුරවැසියෙකු වන වේලායුදම්පිල්ලේ නාගේන්ද්‍ර රත්නම් (78), නාගනාධි බාලසිංහම් (82), බාලසිංහම් කන්මනිපිල්ලේ (76), කාර්තිකේසු නාගේශ්වරී (83), යාපනයේ පදිංචිව සිටි මහාදේවන් (අවුරුදු 75) වශයෙන් හදුණාගෙන තිබේ.
නිවසේ සාමාජිකයින් ඝාතනය කළද නිවසේ තිබූ ස්වර්ණාභරණ මුදල් හෝ වෙනත් කිසිදු දෙයක් සොරා ගෙන ගොස් නොමැත.
නිවසේ උදවිය සියලු දෙනාම නින්දට ගිය පසුව මෙම ඝාතනය සිදුවන්නට ඇතැයි පොලිසිය සැකකරණ අතර දහවල් වන තුරුත් නිවසේ කිසිදු අයෙකු එළියට නොපැමිණීම නිස ඇති වූ සැකයක් මත යාබද නිවසක අයෙකු කළ දැණුම් දීමකට අනුව පොලීසිය එම නිවසට ගොස් නිවස පරීක්ෂා කිරීමේදී කපා කොටා ඝාතනය කළ පුද්ගලයින් පස් දෙනාගේ මළ සිරුරුද බරපතල ලෙස තුවාල ලැබූ කාන්තාවක්ද හමු වී ඇත.
සිද්ධිය සිදුවන අවස්ථාවේදී විදේශ රටක සිට පැමිණි තුන් දෙනෙකු මෙම නිවසේ සිට ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු මියගොස් ඇති අතර බරපතල තුවාල ලබා සිටින කාන්තාවද එසේ පැමිණි තිදෙනාගෙන් එක් අයෙකු වනවා.
මෙම ඝාතන වලට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
යාපනය ඩෙල්ෆ්ට් මහේස්ත්‍රාත් ගජනිති බාලන් මහතා සිද්ධිය වූ ස්ථානයට ගොස් ස්ථානීය මරණ පරීක්ෂණය සිදු කරණ ලද අතර එහිදි පොලීසිය කියා සිටියේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් මුහුදු මගින් පලා යා හැකි නිසා යාපනය හා ඩෙල්ෆ්ට් අතර බෝට්ටු සේවාවන් තාවකාලිකව නවතා දැමීම වැදගත් බවයි.
ඒ අනුව මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කිරීමත් සමගම යාපනය හා ඩෙල්ෆ්ට් අතර බෝට්ටු සේවාවවන් නවතා දමා තිබේ.
නාවික හමුදාවේ යාත්‍රා පමණක් ක්‍රියාත්මක වන අතර සිද්ධිය සම්බන්දයෙන් ඩෙල්ෆ්ට් පොලිසිය පරීක්ෂණ සිදුකරයි.