මැතිවරණ විනිශ්චයාධිකරණයක් අලූතින් පිහිටුවිය යුතු බවට මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේදී යෝජනා කර තිබෙනවා.
දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා නව වැඩපිළිවෙළක් සැකසිය යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා මැතිවරණ නීති රීතිවල ප්‍රතිසංස්කරණ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී සාක්ෂි දෙමින් සඳහන් කලා.
ඇතැම් දේශපාලන පක්ෂ දිස්ත්‍රික්කයකට පමණක් සීමා වී ඇති අතර වර්තමානය වන විට පක්ෂ ලියාපදිංචි කිරීමේ නිර්ණායකවල ගැටලූ මතුව ඇති බවද ඔහු කියාසිටියා.
ජාතික වශයෙන් පිළිගත් දේශපාලන පක්ෂ, ලියාපදිංචි පක්ෂ සහ ප්‍රාදේශීය පක්ෂ ලෙස දේශපාලන පක්ෂ වර්ගකර, ඒවා ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් ඇතිකළ යුතු බවද නිමල් පුංචිහේවා මහතා කාරක සභාවට යෝජනා කලා.
නාමයෝජනා භාර දීමේදී මතුවන තාක්ෂණික ගැටලූ නිරාකරණය සඳහා අවම වශයෙන් පැය 24 ක කාලයක් ලබා දිය යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව කාරක සභාවේදී යෝජනා කර තිබෙනවා.
ස්වාධීන දේශපාලන පක්ෂවලට පමණක් සීමා වී ඇති ඇපමුදල් තැන්පත් කිරීම පිළිගත් දේශපාලන පක්ෂ සඳහාද අදාළ කරගත යුතුය යන්න කොමිෂන් සභාවේ මතය වී තිබෙනවා.
ඇප මුදල් තැන්පත් කිරීමේ ක්‍රමවේදය කාලිනව සංශෝධනයට ලක්කළ යුතු බවද ඔවුන් කියාසිටියා.
නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු තැපැල් දෙපාර්තමේන්තුව මගින් පමණක් සිදු කෙරෙන අතර, ඒ වෙනුවෙන් විකල්ප ක්‍රමවේද භාවිත කිරීමේ අවශ්‍යතාවද කොමිෂන් සභාව කාරක සභාවේදී පෙන්වා දුන්නා.
මැතිවරණයක ඡන්දය භාවිත කිරීමේ වේලාව අවසන් වන විට පෝලිම්ගතව සිටින ඡන්ද දායකයන්ට ජන්දය භාවිත කිරීමට හැකිවන පරිදි මැතිවරණ නීති සංශෝධනය කළ යුතු බවටද කොමිෂන් සභාව යෝජනා කලා.
මිශ්‍ර සමානුපාතික මැතිවරණ ක්‍රමයක් රටට යෝග්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ මතය බවයි නිමල් පුංචිහේවා මහතා කාරක සභාවේදී කියාසිටියේ.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූර සංඛ්‍යාව 225 ලෙසම පැවතිය යුතු බවත්, ඉන් 140 ක් කොට්ඨාස මට්ටමින්ද, 70 ක් දිස්ත්‍රීක් සමානුපාතික ක්‍රමයෙන්ද, 15 ක් ජාතික ලැයිස්තුවෙන්ද තෝරා ගත යුතු බවට ඔහු යෝජනා කර තිබෙනවා.
නාම යෝජනා භාරදී අවසන් වූ පසු අපේක්ෂකයන්ට තැපැල් ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවත්, සෞඛ්‍ය ආදි අත්‍යාවශ්‍ය සේවා වලටද තැපැල් ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කලා.
මැතිවරණ වැරදි සම්බන්ධයෙන් නඩු පැවරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට ලබා දිය යුතු බවත් නිමල් පුංචිහේවා මහතා කාරක සභාවේදී අවධාරණය කලා.