අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 14ක් සැපයීම සඳහා චීනය විසින් ලබා දී ඇති ඇ.ඩො. මිලියන 28 ක ප්‍රදානය යොදාගෙන ඇති බවත් කටකතාවල සදහන් පරිදි අත්‍යවශ්‍ය ඖෂධ හිගයක් නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රට තුළ අතවශ්‍ය ඖෂධ හිඟයක් පැවතීම පිළිබදව පැතිර යන තොරතුරු සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.
තවද, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඉන්දියානු ණය මාර්ගයෙන් ඩොලර් මිලියන 200 ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.
ඊට අමතරව ඉන්දියානු ණය මාර්ගයෙන් ලැබුණු ඩොලර් බිලියන 1 න් ඉතිරි ඩොලර් මිලියන 35 ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම කරුණු අනාවරණය කළේ පසුගියදා (24) පාර්ලිමේන්තුවේ දී පැවැති සෞඛ්‍ය අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය.
පෞද්ගලික රෝහල්වල අධික ගාස්තු අයකිරීම සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරු කාරක සභාවේ අවධානය යොමු කළහ. රජයේ රෝහල් නිසි පරිදි නඩත්තු නොකිරීම සහ අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීමට අපොහොසත් වීම හේතුවෙන් පෞද්ගලික රෝහල්වල සේවය ලබාගැනීමට රෝගීන්ට සිදුව ඇති බව මන්ත්‍රීවරු මෙහිදි ප්‍රකාශ කළහ.
අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ වත්මන් ආර්ථිකය හමුවේ මධ්‍යම ආදායම්ලාභී කාණ්ඩයට තවදුරටත් පෞද්ගලික රෝහල් පහසුකම් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් තුළ රජයේ රෝහල් වෙත යොමුවන පිරිස ඉදිරියේදී ආසන්න වශයෙන් 25% – 30% අතර ප්‍රමාණයකින් වැඩි වන බවයි.
තවද, තාක්ෂණික වෛද්‍ය කාර්ය මණ්ඩලයේ ස්ථාන මාරුවීම්වලට අදාල ගැටලු පිළිබඳව ද අවධානය යොමු විය. තාක්ෂණික වෛද්‍ය කාර්ය මණ්ඩලය තම ගම්බිම්වලින් දුරබැහැර ප්‍රදේශවල රාජකාරීයේ නිරතවන බැවින් විශේෂයෙන් ආර්ථික අර්බුදය හමුවේ ඔවුන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙන බව මෙහිදී සාකච්ඡා විය. මේ පිළිබද සොයා බලා පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.
