ගෑස් මිල, සිමෙන්ති මිල, කිරිපිටි මිල වැනි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල හිතු මනාපෙට අහස උසට ඉහළ යද්දී තමන්ට එම මිල පාලනය කිරීමට නොහැකි යැයි කියන්නට ආණ්ඩුවක් කුමකටදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (11) ආණ්ඩුවෙන් ප්‍රශ්න කොට සිටියේය.
මේ ආණ්ඩුවට රට ගොඩනගනවා තබා අඩු තරමේ ආර්ථිකයවත් කළමනාකරණය කර ගැනීමේ කිසිදු හැකියාවක් නැති බව ඉතා හොඳින් ඔප්පු කොට ඇතැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ මොහොතේ ජනතාව මුහුණ දී සිටින බරපතළ ප්‍රශ්නවලින් ජනතාව මුදාගෙන, ඔවුන්ගේ ජන ජීවිත සුරක්ෂිත කිරීමේ හැකියාව ආණ්ඩුවට නැතිනම් ඒ බව පිළිගෙන වහාම ඉවත් වී, මේ රට ගොඩනැඟිය හැකි කණ්ඩායමකට ඒ වගකීම භාරදෙන ලෙස තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද විපක්ෂ නායකතුමා පැවසීය.
ජනතාවට සියලු ආදායම් මාර්ග අවහිර වී ඇති බවත් ඒ සමගම රටේ මන්දපෝෂණය ඉහළ යමින් පවතින බවත් පැවසූ විපක්ෂ නායකතුමා රටේ සමස්ත ජනතාවම අන්ත අසරණ අඩියකට වැටී ඇති බවද පැවසීය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරනු ලබන සමාජ සත්කාර වැඩසටහනෙහි 31 වන පියවර ලෙස රුපියල් ලක්ෂ විස්සක (රු. 2,000,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ තන්තිරිමලේ ප්‍රාදේශීය රෝහල වෙත පරිත්‍යාග කරනු ලැබූ අතර එම අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකතුමා මේ අදහස් පළ කළේය.