නව ව්‍යවස්ථාවකින් උතුරු – නැගෙනහිර බලය බෙදාහැරීම සහ පළාත් සභා මැතිවරණය වහාම පැවැත්වීම ඇතුළු යෝජනා 03ක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට උතුරේ දෙමළ දේශපාලන පක්ෂ තීරණය කර තිබේ.
උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් අතර සාකච්ඡාවක් ඊයේ (25) පස්වරුවේ කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාගේ නිල නිවසේදී පැවැත්විය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, සී.වී.විග්නේෂ්වරන්, එස්. ශ්‍රීධරන් සහ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්වී තිබේ.
එම සාකච්ඡාවේදී උතුරු – නැගෙනහිර ඉඩම් අත්පත් කරගැනීමේ ක්‍රියාවලිය වහාම නතර කිරීම සහ අත්පත්කරගෙන ඇති ඉඩම් වහාම දෙමළ ජනතාවට ලබාදීම, පළාත් සභා මැතිවරණය වහාම පැවැත්වීම සහ උතුරු නැගෙනහිර පළාත්වලට බලය බෙදාහැරීම සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම යන යෝජනා 3 සඳහා එකඟත්වයකට පැමිණ තිබේ.
එහිදී අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා,
“ජනපති බලය බෙදීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කථා කළා. උතුරු – නැගෙනහිර දෙමළ පක්ෂ සමග සාකච්ඡා කළා. මේක පළමු අවස්ථාව. ඉදිරියේ අනෙක් පක්ෂ සමග සාකච්ඡා කරනවා.”
මාධ්‍යවේදියෙක් – “මේක ජනපතිට ඉදිරිපත් කරන්නේ කවදා වගේද ?”
එම්.ඒ. සුමන්තිරන් – “එක ජනපතිගෙන් අහන්න ඕන ප්‍රශ්නයක්.”
පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා,
“හැමවෙලාවේම අරගල සිදුකළොත් රටේ දැන් තත්ත්වයට කිසිවක් කරන්න බැරිවෙනවා. අපේ අයිතීන් වෙනුවෙන් ප්‍රශ්න ඇති නොකර ඉදිරියට යන්න අපි උත්සාහ කළ යුතුයි. ජනපතිගේ ප්‍රකාශයේ වැරැද්දක් නැහැ. ජනතාවගේ අයතීන්ට හානියක් සිදුනොකර තමන්ගේ ප්‍රශ්න ප්‍රකාශ කිරීමට ජනතාවට හිරිහැර නොකළ යුතුයි.”
මාධ්‍යවේදියෙක් – “මේවා වළක්වන්න හමුදාව යොදවනවා කියනවා ?”
“සිදුවීමක් සිදුවුනොත්නේ හමුදාවට කථාකරන්නේ. අපේ වැඩ හරියට කළොත් හමුදාව ගෙන්වගන්න ඕනේ නැහැ.”
“13 ප්ලස් කියලා මම මුකුත් කියන්නේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලුතින් හදනවිට අපේ බලය බෙදන්නේ කොහොමද? වැඩිම විදිහට බලය බෙදන අයුරු සාකච්ඡා කරනවා.”
