පාස්කු ඉරුදින දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට සම්බන්ධ විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ඔක්තෝම්බර් මස 04 වනදා කැඳවන ලෙස නියම කර තිබෙනවා.
කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි එම නියෝගය ලබාදී ඇත්තේ.
ඒ අනුව මෙම නඩුවට අදාළව චෝදනා එල්ලවී ඇති මුස්ලිම් මවුලවිවරුන් ඇතුලු 25 දෙනෙකුට ඔක්තෝබර් 04 වනදා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබෙනවා.
සභාපති විනිසුරු දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කලා.
විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන අධිචෝදනා පත්‍ර එදින ඔවුන්ට බාරදීමට නියමිතයි.
මහත් ආන්දෝලනයකට තුඩුදුන් ජාතික වැදගත්කමක් සහිත මෙම නඩුකරය විභාග කිරීම සඳහා ජූරි සභාවක් නොමැතිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නීතිපති සංජය රාජරත්නම් මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුවයි අගවිනිසුරුවරයා විසින් මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නම් කර ඇත්තේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23,270 ක් නවුෆර් මව්ලවි, සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ ඇතුලු සැකකරුවන් 25 දෙනා වෙත එල්ල කර තිබෙනවා.
