පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 25 දෙනෙකුට එරෙහිව අධි චෝදනා ගොනුකිරීමට නීතිපතිවරයා පියවර ගෙන තිබෙනවා.
අධිචෝදනා 23,270 ක් ඔවුන්ට එරෙහිව ගොනුකර ඇති බව සඳහන්.
මෙම සැකකරුවන්ට එරෙහි චෝදනා විභාගය සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස ද නීතිපතිවරයා විසින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මෙලෙස අධිචෝදනා ගොනු කළ සැකකරුවන් අතර නවුෆර් මවුලවි, සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ හෙවත් ගෆූර් මාමා, මොහොමඩ් සනස්දීන් සහ මොහොමඩ් රිස්වාන් යන අය වනවා.
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානය, කිංග්ස්බරි හෝටලය, ෂැංග්‍රිලා හෝටලය, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය, මඩකලපුව සියොන් දේවස්ථානය සහ දෙහිවල ට්‍රොපිකල් ඉන්හි සිදු වූ බෝම්බ පිපිරීම්වලට අදාලව මෙම අධිචෝදනා ගොනු කර තිබෙනවා.
කුමන්ත්‍රණය කිරීම, සැලසුම් කිරීම, ආධාර හා අනුබල දීම, පුපුරණ ද්‍රව්‍ය හා ගිනි අවි එක්රැස් කිරීම, මනුෂ්‍ය ඝාතනය සහ මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම යන චෝදනා ඒ අතර වනවා.
