මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යූහයේ නීති ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමට හා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමට පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 7ක් කැඳවා ඇතැයි එහි ලේකම් සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
විදේශ කටයුතු අමාත්‍ය සහ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් යුත් මෙම කමිටුව පස්වරු 2ට පාර්ලිමේන්තුවේ දී රැස් වේ.
මේ වනවිට ආරාධනා කර ඇති පක්ෂ අතුරෙන් ලිබරල් පක්ෂය, අකිල ඉලංගෙයි ද්‍රවිඩ මහා සභාව, තෙමල සමාජ ප්රජාතන්ත්ර පක්ෂය, සිංහලදීප ජාතික පෙරමුණ සහ සමත්තුවකච්චි පක්ෂය තම සහභාගිත්වය ස්ථීර කර ඇතැයි රෝහණදීර මහත්මිය සඳහන් කළාය.
මෙතෙක් තම සහභාගීත්වය තහවුරු කර නොමැති පක්ෂ වන්නේ මවුබිම ජනතා පක්ෂය සහ එක්සත් සාම සන්ධානයයි.
පසුගිය 14 වැනිදා තේරීම් කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆරල් සංවිධානය සිය යෝජනා ඉදිරිපත් කළේය.
මැතිවරණ සහ මැතිවරණ ව්‍යුහයේ නීති රීති සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත් කරනු ලැබුවේ පසුගිය අප්‍රේල් මාසයේ දීය.
මෙම කමිටුව පළමු වරට රැස්වූයේ ඉකුත් මැයි මස 17 වැනිදාය.
