මාතර වෙරළ උද්‍යානය යාබදව පිහිටා ඇති රන් දූපතට (පරෙවි දූපත) පිවිසීමට නව පාලමක් ඉදිකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (04) පස්වරුවේ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතාට උපදෙස් දී තිබේ.
රන් දූපතට පිවිසීමට ඉදිකර තිබූ පාලම දීර්ඝ කාලයක සිට අබලන්ව පැවතිණ. අද පෙරවරුවේ එය කඩා වැටීමෙන් දූපතට පිවිසීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් විසින් ජනාධිපතිතුමාට දැනුම් දී තිබේ.
සියම් මහා නිකායෙහි රෝහණ පාර්ශ්වයේ උපෝසථාගාරය පිහිටා ඇති මෙම දූපත දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයකි.
ඉදිකිරීම් පිළිබඳ සොයා බැලීමට රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවේ නිලධාරීන් හෙට (05) පෙරවරුවේ එම ස්ථානයට යාමට නියමිත අතර පාලමේ ඉදිකිරීම් මාස 06ක් ඇතුළත නිම කිරීමට අපේක්ෂා කරන බව මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි.
