සීනි, පරිප්පු, කුකුළු මස්, අර්තාපල්, ටින් මාලු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මෙතෙක් පාලන මිළ පැවති ආහාර ද්‍රව්‍ය ගණනාවකට අදාළව ක්‍රියාත්මක වූ ගැසට් පත්‍ර 07 ක් ඊයේ සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කරමිනුයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත්තේ.
පසුගිය සැප්තැම්බර් මස 02 වන දින සුදු සීනි සහ දුඹුරු සීනි සඳහා පනවා තිබු උපරිම සිල්ලර මිලට අදාළ ගැසට් පත්‍රය මෙමගින් අවලංගු කර තිබෙනවා.
ඊට අමතරව 2020 වසරේ මාර්තු 17 වන දින පරිප්පු, බී ළූණු සහ ටින් මාළු සඳහා පනවා තිබු උපරිම සිල්ලර මිලට අදාළ ගැසට් පත්‍රය ද අවලංගු කර ඇති බවයි නව ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
ඊට අමතරව බඩ ඉරිගු සහ කුකුල් මස් සඳහා පාලන මිළ පණවමින් පසුගිය වසරේ මාර්තු 12 වන දින නිකුත් කළ ගැසට් පත්‍ර 02 ද අවලංගු කර තිබෙනවා.
2017 වසරේ දෙසැම්බර් 06 වන දින කරවල, පොල් සහ පරිප්පු සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් කරමින් ප්‍රකාශයට පත්කර තිබු ගැසට් පත්‍රය ද / එම වර්ෂයේ ජනවාරි 27 වන දින වියළි හාල් මැස්සන්, මුං ඇට, ආනයනික අර්තාපල් සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරන ලද ගැසට් පත්‍රය ද මෙලෙස අවලංගු කෙරුණා.
ඊට අමතරව 2016 වර්ෂයේ ජූලි මස 14 වන දින කඩල, තිරිගු පිටි සහ ආනයනික කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරමින් පනවා තිබු ගැසට් පත්‍රය ද ඉවත් වනු ඇති.
මීට පෙර සහල් සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත්කර තිබු ගැසට් පත්‍රය ද අවලංගු කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගනු ලැබුවා.