ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න 2022 දෙසැම්බර් මස 23 වන දින සිට පත්කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න වෙත නිල වශයෙන් අද දින (2023 ජනවාරි 03) නාවික හමුදා මූලස්ථානයේදී ප්‍රදානය කර, සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.
කොළඹ මහානාම විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, පාසල් අවධියේදී විද්‍යාලීය ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයෙකු වශයෙන් සහ ශිෂ්‍යභට කණ්ඩයේ සාමාජිකයෙකු මෙන්ම විද්‍යාලීය මලල ක්‍රීඩා සංචිතයේ සාමාජිකයෙකු වශයෙන්ද කටයුතු කරමින් විෂය බාහිර සහ ක්‍රීඩාවන්ගෙන් දස්කම් පෙන්නුම් කර ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.
1987 වර්ෂයේදී 16 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක් වී ඇති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, සිය මූලික පුහුණුව ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් සාර්ථකව සම්පූර්ණ කර ඇත. එමෙන්ම 1989 වර්ෂයේ ජූනි මස 15 වන දින උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වන ඔහු, සිය උප ලුතිනන් තාක්‍ෂණික පාඨමාලාව 1990 වර්ෂයේදී ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේදී සාර්ථකව හදාරා ඇති අතර, 1999 වර්ෂයේදී පකිස්ථානයේ ජලතරණ මෙහෙයුම් පාසල වෙතින් ජලතරණය සම්බන්ධ විශේෂඥතාව ලබා, ක්‍රමාණුකූලව උසස් වීම් ලබමින්, 2020 වර්ෂයේ අගෝස්තු මස 07 වන දින රියර් අද්මිරාල් නිලයට උසස් වී ඇත.
ඉන්දියාවේ වෙලින්ටන් හි ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් 2004/2005 කාලසීමාවේ මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරන ඔහු, ඉන්දියාවේ මදුරාසි විශ්ව විද්‍යාලයෙන් ආරක්‍ෂක හා උපායමාර්ගික අධ්‍යනය පිලිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇත. තවද, ඔහු 2017 වර්ෂයේදී ඔස්ට්‍රේලියාවේ වොලොන්ග්ගොන්ග් විශ්ව විද්‍යාලයෙන් සමුද්‍රීය ප්‍රතිපත්ති සම්බන්ධ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇති අතර, ජාත්‍යන්තර අධ්‍යයන පිලිබඳ කොළඹ, බණ්ඩාරනායක මධ්‍යස්ථානයෙන් ගැටුම් නිරාකරණය පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක්ද සාර්ථකව හදාරා ඇත.
තවද, රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් පත් වීමට පෙර නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වශයෙන් සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කල කිර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක 2022 දෙසැම්බර් මස 23 වන දින පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය නාවික හමුදා මූලස්ථානයේදී ඔහු වෙත නිල වශයෙන් අද දින (2023 ජනවාරි 03) ප්‍රදානය කර සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.
මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, 1987 වර්ෂයේදී 17 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක් වී ඇත. ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව සාර්ථක ලෙස අවසන් කර 1989 වර්ෂයේ උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වන ඔහු, සිය උප ලුතිනන් තාක්‍ෂණික පාඨමාළාව 1992 වර්ෂයේදී ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේදී සාර්ථකව හදාරා, 1997 වර්ෂයේදී ජලතරණය සම්බන්ධ විශේෂඥතාව ඉන්දියාවේදී ලබා ඇති අතර, ක්‍රමාණුකූලව උසස් වීම් ලබමින් 2021 වර්ෂයේ ජූලි මස 01 වන දින ඔහු රියර් අද්මිරාල් නිලයට උසස් වී ඇත.
සිය සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ නිළතල රාශියක් දරා ඇති ඔහු, වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී ලෙස සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා හා ආයතනයන්හී අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී සිදු කොට ඇත. තවද ඔහු, අධ්‍යක්‍ෂ ක්‍රීඩා, අධ්‍යක්‍ෂ නාවික ප්‍රතිපත්ති හා සැලසුම්, ගිණිකොණ නාවික විධානයේ ආඥාපති, උතුරු මැද නාවික විධානයේ ආඥාපති සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් වැනි ප්‍රමුඛ නිලතල දරා ඇති කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.
තවද, රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් ලෙස එම ධූරයෙහි කටයුතු සිදුකරන අතරතුර, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධූරයෙහිද රාජකාරී කටයුතු සිදුකරනු ඇත.
