ශ්‍රී ලංකාව තුළ දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් යෝජනා 13ක් ඉදිරිපත් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසන්නේ, විධායකය පිළිබඳ අර්ථවත් පාර්ලිමේන්තු අධීක්ෂණයක් නොමැතිකම සහ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමෙන් පසුව වගවීම සහ විනිවිදභාවය නොමැතිකම පිළිබඳ චෝදනා සහ දූෂණය, වත්මන් දේශපාලන නොසන්සුන්තාවයට හේතු වී ඇති බවයි.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන අහෝසි කර 19 වැනි සංශෝධනය ප්‍රතිෂ්ඨාපනය කරමින් රජය වහාම 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දිය යුතු බව නීතීඥ සංගමයේ යෝජනා අතරට අයත්.
21 වැනි සංශෝධනය බලාත්මක කිරීමෙන් පසු අමාත්‍යාංශ සඳහා සියලූම ලේකම්වරුන් පත් කළ යුතු බවත් අධිකරණ සේවා කොමිෂන් සභාව හැර අනෙකුත් සියලූම ස්වාධීන කොමිෂන් සභා නැවත ස්ථාපිත කල යුතු බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය යෝජනා කරනවා.
ජනාධිපතිවරයා කිසිදු අමාත්‍යාංශයක් නොදැරිය යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.
ලබන නොවැම්බර් 30 වැනිදාට පෙර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් සම්මත කළ යුතු බව ද එහි සඳහන්.
විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ඇති කිරීම මෙන්ම ඒ යටතේ අගමැතිවරයා ආණ්ඩුවේත් කැබිනට් මණ්ඩලයේත් ප්‍රධානියා ලෙස පාර්ලිමේන්තුවට වග කිව යුතු බවටද ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය යෝජනාවෙන් දක්වා තිබෙනවා.
කැබිනට් අමාත්‍යවරුන් 15 දෙනෙකුගෙන් සමන්විත අන්තර්වාර ජාතික සමගි ආණ්ඩුවක් පිහිටුවීම – පාර්ලිමේන්තුවේ සියලූ දෙනාගේ එකගතාව දිනාගත හැකිවෙතැයි කථානායකවරයා විසින් පිළිගන්නා අයෙකු එහි අගමැතිවරයා වීම නීතීඥ සංගමයේ තවත් යෝජනා 02 ක්.
අමාත්‍යාංශ 15 ට අනුරූප විෂය ක්ෂේත්‍රවලින් සුදුසුකම් ලත් වෘත්තිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ස්වාධීන උපදේශක සභාවක් පත්කල යුතු බවයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසන්නේ.
දේශපාලන පළිගැනීම් පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පත්කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාව අවලංගු කර එම කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් වළකින ලෙසත් ඔවුන් යෝජනා කර තිබෙනවා.
ජාතික සමගි භාරකාර ආණ්ඩුව ක්‍රියාත්මක කළ යුතු වන්නේ මාස 18 ක කාලයක් සඳහා පමණක් වන අතර අනතුරුව මාස 6 ක් තුළ මැතිවරණය පැවැත්විය යුතු බවටද ශ්‍රී ලංකා නීතීඥ සංගමය යෝජනා කරනවා.