එළැඹෙන ජුලි මස 10 වන දින දක්වා තැපැල් සහ උප තැපැල් කාර්යාල විවෘතව තැබෙනුයේ සතියේ අගහරුවාදා, බදාදා, සහ බ්‍රහස්පතින්දා දිනවල පමණක් බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කරනවා.
තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවයක් ලෙස නම් කර නොමැති අවස්ථාවක රට තුළ පවතින ඉන්ධන හිගය හේතුවෙන් මහජනයා අපහසුතාවයට පත් නොවන ලෙස එම තීරණය ගත් බවයි තැපැල්පතිවරයා කියාසිටියේ.
මහජනතාව වෙත මහජන ආධාර,වැඩිහිටි දීමනා වැනි විවිධ ආකාරයේ ගෙවීම් කිරීමටත් දේශීය හා ජාත්‍යන්තර තැපෑල මගින් තැපැල් භාණ්ඩ ලැබීමත් යන කරුණු මත මෙම තීරණය ගත් බවයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ.
මේ අතර පවතින තත්ත්වය හේතුවෙන් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ඉඩම් සහ උප්පැන්න, මරණ සහ විවාහ සහතික පිටපත් නිකුත් කිරීම වැනි සේවා එහි සියලූම ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් කාර්යාල හරහා සඳුදා සහ බදාදා පෙරවරු 08.30 සිට පස්වරු 4.30 දක්වා සීමා කෙරෙන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
කෙසේවෙතත් එම දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල සුහුරුපාය පිහිටි ශාඛාව හා කුරුණෑගල, මහනුවර, මාතර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ශාඛා කාර්යාල අයත් වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශ සතියේ දින 05 තුළදී අදාළ සේවා සඳහා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි.
මේ අතර බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමට සහන කාලයක් ලබාදී තිබෙනවා.
ඒ අනුව ලබන ජුලි 29 වනදා දක්වා බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී දඩ මුදල් අය නොකිරීමටයි තීරණය කර ඇත්තේ.
