ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට රජය විසින් සංශෝධන කිහිපයක් යෝජනා කර තිබෙනවා.
ඊට අදාළව සකස් කළ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධි විධාන සංශෝධන පනත් කෙටුම්පත මේ වනවිටත් ගැසට් කර අවසන්.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල කිරීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා.
යෝජිත සංශෝධනවලට අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයට ගන්නා සැකකරුවෙකුට මානව හිමිකම් උල්ලංඝණය කිරීමට අදාළ විධිවිධාන යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉල්ලීමක් ගොනු කිරීමට හැකියාව හිමිවනවා.
නීතීඥවරයෙකුට රිමාන්ඩ් භාරයේ හෝ රැඳවුම් භාරයේ සිටින එවැනි තැනැත්තෙකු වෙත ප්‍රවේශ වීමේ හැකියාව සහ එම තැනැත්තාට ඥාතීන් සමග සන්නිවේදනය කිරීමේ හැකියාව ද, ලබාදෙන වගන්ති ඊට ඇතුළත්.
රැඳවුම් නියෝගයක් යටතේ යම් තැනැත්තෙකු රඳවා තබා ගන්නා කාල සීමාව මාස 18 සිට මාස 12 දක්වා අඩු කිරීමට ද යෝජිතයි.
මෙම සංශෝධන මගින් රැඳවුම් ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත්වරයාට සැකකරුගේ තත්ත්වය පිළිබඳව සොයා බැලීමටද ඉඩ කඩ හිමිවනවා. යෝජිත සංශෝධනවලට අනුව සැකකරු වද දීමට ලක්ව නොමැති බව තහවුරු කිරීම සඳහා එම තැනැත්තා අධිකරණ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමටද හැකියාව පවතිනවා.
නඩු කටයුතු අප්‍රමාදව අවසන් කිරීමට කටයුතු කිරීමට දිනපතා නඩු විභාග පැවැත්වීමේ විධිවිධානද ඊට ඇතුළත්.