ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයට මුහුණදෙන රටවලට විසඳුමක් ගෙන ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැඩි පරිශ්‍රමයකින් කටයුතු කරන බව එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජියේවා මහත්මිය පවසන්නීය.
අමෙරිකානු CBS රූපවාහිනිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.
ප්‍රශ්නය – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන පරිදි අඩුආදායම්ලාභී රටවල් රැසක් ණය අර්බුදයට මුහුණදීම ගෝලීය මූල්‍ය අර්බුදයට කොතරම් දුරට බලපෑමක් ඇති කරාවිද ?
ක්‍රිස්ටලිනා ජෝජියේවා,
“මේ වනතුරු මෙම රටවල් මුහුණදෙන ණය අර්බුදය ගෝලීය අර්බුදයක් නිර්මාණය කිරීමට තරම් කැපී පෙනෙන මට්ටමට පැමිණ නැහැ. ඉතින් ඒ රටවල් මොනවාද යන්න විමසා බැලුවොත් චැඩ්, ඉතියෝපියාව, සැම්බියාව, ඝානාව, ලෙබනනය, සුරිනාම් සහ ශ්‍රී ලංකාව මෙලෙස දැඩි ණය අර්බුදයකට මුහුණ දෙනවා. එම රටවල ජනතාවට අපට කිවහැක්කේ, අප ඒ සඳහා විසඳුම් සොයන බවයි. කෙසේනමුත් එය ගෝලීයව පැතිරීමේ තත්ත්වයක් දැනට දක්නට නැහැ. එහෙත් සංවර්ධනය වෙමින් පවතින රටවලින් 25%ක් පමණ මෙලෙස ණය අර්බුද කරා යොමුවන බව පෙනෙන්නේ. මේ විදියට මෙම රටවල් ලැයිස්තුව වර්ධනය වුවහොත් එය ගෝලීය අර්බුදයක් බවට පත්වීමේ අවදානමක් පවතිනවා. ඒ නිසයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය අර්බුදයට විසඳුමක් ගෙන ඒම සඳහා දැඩි පරිශ්‍රමයකින් කටයුතු කරන්නේ. ඒ සඳහා අපි පැරිස් සමාජය වැනි සාම්ප්‍රදායික ණයහිමියන් සමග වගේම චීනය, ඉන්දියාව, සෞදි අරාබිය වැනි සාම්ප්‍රදායික නොවන ණය හිමියන් සමග ද කටයුතු කරනවා. ඔවුන්ට අපේ පණිවුඩය සරලයි. ඒ ඊට හැකි ඉක්මනින් විසඳුමක් ලබාදිය යුතු බවයි.”
2023 වසර පසුගිය වසරටත් වඩා සමස්ත ලෝකයටම ආර්ථිකමය වශයෙන් දැඩි දුෂ්කර වසරක් වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජීයොජියේවා පවසනවා.
ගෝලීය ආර්ථිකයෙන් තුනෙන් එකක් පමණ මෙම වසරේ ආර්ථික අවපාතයකට ලක්වනු ඇති බවටයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියා අනතුරු අඟවා ඇත්තේ.
අමෙරිකාව, යුරෝපා සංගමය සහ චීනයේ ආර්ථිකය මන්දගාමී වර්ධනයක් පෙන්නුම් කිරීම ඊට හේතුව බව ඇය පෙන්වා දී තිබෙනවා.
යුක්‍රේන යුද්ධය, භාණ්ඩ මිල ඉහළ යාම, ඉහළ පොලී අනුපාත සහ චීනය තුළ නැවත වරක් කොවිඩ් ව්‍යාප්තිය ගෝලීය ආර්ථිකයට මෙම වසර තුළදී අහිතකර ලෙස බලපානු ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජීයොජියේවා පෙන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.
