වසර ගණනක් තිස්සේ මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රවේ අඩුපාඩුවක්ව පැවැති ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තිය මේ වනවිට අවසන් කෙටුම්පත සකස් කර අවසන් කර ඇති බව එම ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා පත් කළ විද්වත් කමිටුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් අද දින (27) දුන්නේය.
විද්වත් කමිටුව හා ඇමැතීවරයා සහ අමාත්‍යාංශයේ නිලධාරින් සමග සාකච්ඡාවක් අද දින (27 ) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විනි.
සෑම අංශයක්ම නියෝජනය වන පරිදි විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් මේ සඳහා පත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් දී තිබුනි. ඒ අනුව එම කමිටුවට හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරු, අමාත්‍යාංශ ලේකම්වරු මෙන්ම විශ්ව විද්‍යාල මහාචාර්යවරු හා ගොවිජන නියෝජිතයින්ද ඇතුළත් කරනු ලැබීය.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ, මහාචාර්ය උදිත් ජයසිංහ, මහාචාර්ය පාලිත වීරක්කොඩි, මහාචාර්ය එම් බී. රත්නතිලක, ආචාර්ය බී.වී.ආර් පුන්‍යවර්ධන, ආචාර්ය ඩී. ඇස් . කුරුප්පුආරච්චි, යන ආචාර්ය මහාචාර්යවරු මෙන්ම හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරු වන ආචාර්ය අජන්ත ද සිල්වා හා හා ආචාර්ය ඩබ්. එම්. එම් වීරකෝන් යන මහත්වරු ද මෙම කමිටුවට අයත් වූහ.
විශේෂයෙන් ආණ්ඩුවෙන් ආණ්ඩුවට, අමාත්‍යවරයාගෙන් අමාත්‍යවරයාට වෙනස් නොවන ස්ථිර කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් සැකසීම සඳහා සෑම අංශයකම අදහස් හා යෝජනා ලබා ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම කමිටුවට උපදෙස් දී තිබුනි. ඒ අනුව සෑම අංශයක්ම නියෝජනය වන පරිදි කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා අදහස් හා යෝජනා ලබා ගත් බව ද විද්වත් කමිටුව ප්‍රකාශ කළේය.
කෙසේ වුවද මෙම අවසන් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවත්, ඉන් අනතුරුව නව කෘෂිකාර්මික පනත ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දෙනා විසින් කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
කෘෂිකර්ම ප්‍රතිපත්තියක් සැකසීම වැදගත් වනවා සේම එම ප්‍රතිපත්තියේ සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීම සැම කෙනෙකුම වගකීමක්. නව කෘෂිකාර්මික ජාතික ප්‍රතිපත්තියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. එක හොඳ කාරණයක්. සියලු දෙනාගේ අවධානය ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියට ලැබී තිබෙනවා.
අද මෙරට කෘෂිකර්මාන්තය ඛෙදනීය ඉරණමකට ලක් වුනේ අපිට ජාතික ප්‍රතිපත්තියක් නොතිබුනු නිසයි. සහලින් ස්වයංපෝෂණය වී තිබු රටක් ප්‍රතිපත්තියක් නොමැතිකම නිසාම ආපස්සට ඇද වැටුනා. මෙම වසරේ මාස 10ක කාලයක් තුළ සහල් ආනයනය සඳහා ඩොලර් මිලියන 400ක් වැය කර තිබෙනවා. මෙම තත්ත්වයට නිලධාරිනුත් වගකිව යුතුයි. ලෝකයේ කෘෂිකර්මාන්තය ඉදිරියට ගොස් ඇති ආකාරයට අපේ රටේ කෘෂිකර්මාන්තය ඉදිරියට ගියේ නෑ. ඒ නිසා ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දෙනාගේ සහයෝගය ලබා දීම අවශ්‍ය බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
