චීන රජය විසින් මෙරටට ලබා දී ඇති ඉන්ධන ලීටර් මිලියන 10.06න් ඉන්ධන ලීටර් මිලියන 6.98ක් ශ්‍රී ලංකාවේ වී වගාවේ නියුතු ගොවිජනතාවට සහන සැලසීමක් වශයෙන් යෙදීමට තීරණය කරන ලද බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
චීන රජයෙන් ලැබුනු සමස්ත ඉන්ධන ප්‍රමාණයෙන් ඉතිරි කොටස මෙරට ධීවර කටයුතු සඳහා ලබා දීමට නියමිතය.
කෙසේ වුවද කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා ලබා දුන් ඉන්ධන ලීටර් මිලියන 6.98 වී වගාවේ නියුතු ගොවි ජනතාව අතර බෙදා දීම සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින් සමග සාකච්ඡාවක් පැවැත්විනි. කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ද සහභාගි වී සිටියේය.
ඒ අනුව මෙම ඉන්ධන ලීටර් මිලියන 7.5ක ප්‍රමාණය මෙම මාස් කන්නයේ වී අස්වනු නෙළාගන්නා අවස්ථාවේ ලබා දීමට තීරණය කරනු ලැබීය. මෙම ඉන්ධන තොගය හෙක්ටෙයාර් 01කට අඩු වී වගා කරන සෑම ගොවි මහතෙකුටම ලබා දීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල නිලධාරින්ට උපදෙස් දුන්නේය.
ඉන්ධන බෙදාහැරීම ඒ ඒ දිස්ත්‍රික්කවලින් තෝරාගන්නා ලද ඛනිජතෙල් සංස්ථාවට අයත් පිරවුම්හල් මගින් සිදු කෙරේ.
මේ අතර මේ වනවිට දිවයිනේ වී වගා කළ සියලුම කුඹුරු නිසි කළට පොහොර යෙදීම නිසා සාරවත්ව තිබෙන බව මෙම සාකච්ඡාවේ දී නිලධාරිහු පැවසූහ. දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම එම තත්ත්වය වාර්තා වන බවත්, ඒ අනුව ස්වාභාවික ආපදාවක් සිදු නොවුනහොත් මෙම මහකන්නයේ අපේක්ෂිත වී අස්වැන්න ඉළක්කය ලබා ගත හැකි වනු ඇතැයි ද ඔවුහු පැවසූහ.
