කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයාගේ ඝාතනයට සම්බන්ධ සැකකරු එම ඝාතනයෙන් අනතුරුව වස පානය කර වරකාපොළ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අත්අඩංගුවට ගෙන තිබේ.
කටාන ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඔහුට අයත් වනාතවිල්ලුව ප්‍රදේශයේ පිහිටි නිවසක දී ඝාතනය කර තිබුණි.
එම ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය කළ විමර්ශනවලදී වත්තේ මුරකාර යුවළ අතුරුදන්ව ඇතැයි අනාවරණය වුණි.
ඒ අනුව පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.
මුරකරු හා ඔහුත් සමග සිටි කාන්තාව පිළිබඳ ලද තොරතුරු අනුව මුරකරු වරකාපොළ නියඳුරුපොළ පදිංචිකරුවකු බවට තහවුරු කරගෙන තිබුණි.
මෙසේ තිබියදී නියඳුරුපොළ ප්‍රදේශයේ පුද්ගලයෙකු 29 වනදා වස පානය කර සිටිය දී වරකාපොළ මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබීය.
වනාතවිල්ලුව පොලීසිය වරකාපොළ පොලීසිය හා එක්ව කළ විමර්ශනවලදී වස පානය කර වරකාපොළ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින්නේ කටාන ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව සිටින රන්පොඩි දේවගේ රවින්ද්‍ර ධර්මසිරි නැමති අය බවට තහවුරු කර ගෙන තිබේ.
පසුව ඊයේ (01) වනාතවිල්ලුව පොලීසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේ ප්‍රතිකාර සඳහා යොමුකර ඇත.
සැකකරු සමග වත්තේ සිටි කාන්තාවක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.