අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිහිටි ගොඩනැගිල්ලක පස්වන මහලේ පිහිටි වැසිකිලි කවුලුවකින් පහතට පැන බරපතල තුවාල ලැබූ සැකකාරියක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 46ක් වන පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.
අදාළ කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ විශේෂ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන සිටි කාන්තාවක් බවයි පොලිසිය සදහන් කළේ.
කූඨ ලේඛන සකස්කර අන් අයෙකු ලෙස පෙනී සිටිමින් රුපියල් මිලියන 68කට අධික මුදල් ප්‍රමාණයක් වංචා කිරීම සමබන්ධයෙන් රාජ්‍ය බැංකුවක් විසින් සිදුකරන පැමිණිල්ලකට අනුව අදාළ කාන්තාව පසුගිය 10 වනදා අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙම කාන්තාව ව්‍යාජ නම් හා දුරකථන අංක භාවිතා කර අංගොඩ/ රාජගිරිය සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල කාන්තාවන්ට ණය දෙන සමිති ආරම්භ කර ඇති බව සදහන්.
එහිදී ණය ඉල්ලුම්කරුවන් සදහා රුපියල් 50,000 ක මුදලක් රාජ්‍ය බැංකුවකින් ලබාගත හැකි බව පවසමින් ඔවුන් ඉදිරිපත් කරන ලේඛන ව්‍යාජ ලෙස සකස් කර රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 15 දක්වා ණය මුදල් අදාළ කාන්තාව විසින් ලබා ගෙන ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
සැකකාරිය අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ රදවා සිටියදීයි මෙම සිදුවීම වී ඇත්තේ.
මේ අතර මෙහිදී ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරිනියන් විසින් රාජකාරි අතපසු කිරීමක් සිදුකර ඇත්දැයි අනාවරණය කර ගැනීම සදහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
කොටුව පොලිස් ස්ථානයයි වැඩඩිදුර විමර්ශන මෙහෙයවන්නේ.