ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් මේ වන විටත් එල් පී ගෑස් සදහා ප්‍රමිති සකස් කර ඇති බව එහි සභාපති ජනක රත්නායක මහතා අනාවරණ කලේය.
එහෙත් එම ප්‍රමිති බලාත්මක කිරීම සදහා කොමිෂන් සභාව වෙත නීතිමය බලතල නොමැති බවද පැවසීය.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධීක්ෂණය ඇතිව සකස් කල එල් පී ගෑස් ප්‍රමිති වහා ක්‍රියාවට නැගීමෙන් කඩිනමින් එල් පී ගෑස් පාරිභෝගික ආරක්ෂාව තහවූරු කල හැකි ය.
ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ පටිපාටි අනුව එල් පී ගෑස් ප්‍රමිති කෙටුම්පත් කර ඇති අතර මහජන උපදේශනයකින් ද පසුව මේ වන විට අවසන් කෙටුම් පත සකස් කර තිබේ.
ගෑස් සිලින්ඩර වල උපරිම පීඩනය, ප්‍රොපේන් සහ බියුටෙන් සංයුතියේ ප්රශස්ත අනුපාත ආදි එල් පී ගෑස් සිලින්ඩර භාවිතයේදී පාරිභෝගික ආරක්ෂාවට අදාල සියලුම කොන්දේසි නව ප්‍රමිති වලට ඇතුළත්.
මීට අමතරව සිලින්ඩර වල තත්වය සහතික කල දිනය පවා එහි සදහන්කල යුතු බව යාවත් කාලීන ප්‍රමිති වල සදහන් වේ.
යාවත්කාලීන කල එල් පී ගෑස් ප්‍රමිති සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා
“එල් පී ගෑස් වලට අදාලව පැරණි ප්‍රමිතියක් තිබුණා. එය පවා තවමත් නීත්‍යානුකුල නැහැ. ඒ්කට හේතුව එල් පී ගෑස් නියාමනය සදහා නියාමන බලතල සහිත ආයතනයක් නොමැතිකම. එල් පී ගෑස් ඇතුළු ඛණිජතෙල් කර්මාන්තය නියාමනය සදහා 2002 දී ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නම් කර තිබෙනවා. එහෙත් අද දක්වා කොමිෂන් සභාවට නීත්‍යානුකූල ව මේ ක්ෂේත්රය නියාමනය සදහා නීතිමය බලතල ලබාදී නැහැ. කෙසේ වෙතත් 2019 දී අපි ආරම්භ කලා ඛණිජ තෙල් නිෂ්පාදන සදහා ප්‍රමිති කෙටුම්පත් කිරීම. මේ වන විටත් එල් පී ගෑස් සදහා පමණක් නෙවෙයි පෙට්‍රල් ඩීසල් ආදී නිෂ්පාදන සදහා ද ශ්‍රී ලංකා ප්‍රමිති සකස් කර අවසන්. මේ නිෂ්පාදන භාවිතයේදී පාරිභෝගික ආරක්ෂාව සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා මේ ප්‍රමිති බලාත්මක කල යුතු යි. මේවා බලාත්මක කිරීම සදහා නියාමන බලතල සහිත ආයතනයක් අවශ්‍යයි”
1998 පෙර ප්‍රමිතිය (SLS 712) වාණිජ ප්‍රොපේන්, වාණිජ බියුටේන්, ප්‍රොපේන් සහ බියුටේන් මිශ්‍රණය සහ විශේෂ රාජකාරි ප්‍රොපේන් භාවිතය සඳහා පිරිවිතරයක් සපයයි. කෙසේ වෙතත්, ගෘහස්ථ ආහාර පිසීම සඳහා ප්‍රොපේන් සහ බියුටේන් කිසිදු අනුපාතයක් එහි අනිවාර්යය කර නැත.
පාරිභෝගික ආරක්ෂාව කඩිනමින් තහවුරු කිරීම සදහා ඛණිජතෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත සංශෝධනය කර ගෑස් වෙළදපොල නියාමන බලතල ශ්‍රී ලංකා මහජන කොමිෂන් සභාවට පැවරිය හැකි බවද ජනක රත්නායක මහතා පෙන්වා දුන්නා.
ඛනිජ තෙල් කර්මාන්තය නියාමනය කිරීම සඳහා වූ පනත නීතිපති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් කෙටුම්පත් කර නීතිපතිවරයා විසින් අනුමත කර ඇත්තේ 20212 වසරේදීය. ඒ සදහා මෙතෙක් පාර්ලිමේන්තු අනුමැතිය ලබාගෙන නැති අතර 20 වන ආණ්ඩු ක්‍රම සංශෝධනයෙන් අනතුරුව එම පනත් කෙටුම්පත 20 වන සංශෝධනයට අනුකූල දැයි යන්න නීතිපතිවරයා විසින් නැවත සහතික කල යුතු ය. ඉන් අනතුරුව යෝජිත සංශෝධිත පනත් කෙටුම්පත සදහා පාර්ලිමේන්තුවේ සම්මත කලහොත් ගෑස් නියාමනය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පැවරෙනු ඇත.
ඛණිජ තෙල් නිෂ්පාදන පාරිභෝගික ආරක්ෂාව සදහා අයිතිවාසිකම් ප්රකාශනයක් ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කලා.
එසේම මෙතෙක් අඩුපාඩුවක් ව පැවතී ඛණිජ කෙල් නිෂ්පාදන පාරිභෝගිකයින්ගේ පැමිණිලි විසදීම සදහා යාන්ත්‍රණයක් ද ඊයේ (2021 දෙසැම්බර් 01) සිට ක්‍රියාත්මකයි.
