කොටදෙනියාව වත්තේමුල්ල ප්‍රදේශයෙන් අතුරුදන් වීමෙන් අනතුරුව හමුවූ පිරිමි දරුවන් දෙදෙනා මාර්තු මස 07 වෙනිදා දක්වා මාකොළ ළමා නිවාසයේ රඳවා තබන ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සී ඒ සමරදිවාකර මහතා අද නියම කලා.
දින 44 ක් නිවසින් අතුරුදන්ව සිටි අවුරුදු 10 ක් සහ 12 ක් වයසැති පිරිමි දරුවන් දෙදෙනාව මීරිගම ප්‍රදේශයේ කාන්තාවක විසින් ඉකුත් 06 වෙනිදා මීරිගම පොලිසිය වෙත භාරදී තිබුණා.
දරුවන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයට යොමු කිරීම සඳහා මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු සිදුකරන ලද වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුව කොටදෙණියාව පොලිසිය භාරයට පත් එම දරුවන් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙසේ ළමා නිවාසයේ රඳවා තබන ලෙසට අධිකරණයෙන් නියම කෙරුණේ.
මෙම දරුවන් දෙදෙනාට සිදුකළ තර්ජනයන්ට බිය වී නිවසින් පලා ගිය බවට දරුවන් පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇති බවට ද අධිකරණයේදී වැඩිදුරටත් සඳහන් වුණා.
සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ ගත යුතු පියවර සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගැනීමට කටයුතු කරන බව කොටදෙනියාව පොලිසිය අධිකරණය හමුවේ කියාසිටියා.
දරුවන් දෙදෙනා සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් මාර්තු මස 07වෙනිදා ට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියම කළ අධිකරණය දරු දෙදෙනා සම්බන්ධයෙන් ඉදිරියේදී ගත යුතු ක්‍රියා මාර්ගය එදිනට තීන්දු කරන බව ප්‍රකාශ කලා.