ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකුට සහ හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට එරෙහිව සම්බාධක පැනවීමට කැනඩාව ගෙන ඇති තීරණයට සිය විරෝධය පළකිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.
නිල වශයෙන් විරෝධය පළකිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා අද (11) පෙරවරුවේ මෙරට කැනඩා මහ කොමසාරිස්වරයාව විදේශ කටයුතු අමාත්‍යංශය වෙත කැඳවනු ලැබීය.
හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකුට සම්බාධක පැනවීමට තීරණය කළ බව කැනේඩියානු රජය ඊයේ (10) නිවේදනය කළේය.
කැනේඩියානු රජය පැවසුවේ, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ට හා මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක සහ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට එරෙහිව සම්බාධක පනවන බවය.
1983 සිට 2009 දක්වා පැවති මෙරට සිවිල් යුද සමයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදුකළ බවට චෝදනා කරමින් කැනේඩියානු රජය මෙලෙස සම්බාධක පවනවා තිබුණි.
කැනේඩියානු රජය ඊයේ නිවේදනය කළේ එලෙස සම්බාධක පැනවීමත් සමග හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා ඇතුළු එම සිව්දෙනාට කැනඩාව තුළ සංක්‍රමණික හෝ සරණාගත රැකවරණ හිමි නොවන බවය.
එමෙන්ම ඔවුන්ට කැනඩාව සමග හෝ එහි පුරවැසියන් සමග කිසිදු ගනුදෙනුවක නිරතවීමට හැකි වන්නේද නැහැ.
කැනඩාව තුළ ඔවුන්ට අයත් යම් දේපළක් වේ නම් ඒවාද තහනම් කරන බවද කැනඩා රජය අවධාරණය කරයි.
