පසුගිය අගහරුවාදා රාත්‍රියේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දී ජීවිතක්ෂයට පත් වූ රැඳවියාගේ මරණය සම්බන්ධයෙන් යුද හමුදා සහ ගුවන් හමුදා සැරයන්වරුන් 04 දෙනෙකු සැකපිට අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් අදාළ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයන් ලෙස කටයුතු කරන අය බවයි පොලිසිය සඳහන් කලේ.
සිද්ධිය සම්බන්ධයෙන් පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයන් වැලිකන්ද පොලිස් ස්ථානය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුවයි වයස අවුරුදු 35 ත් 39 ත් අතර වන මෙම සැරයන්වරුන් 04 දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මේ අතර සැකකරුවන්ගේ ප්‍රකාශ මත මරණකරුට පහරදීම සඳහා යොදාගත් බවට සැක කෙරෙන ඝනකම සහිත විදුලි වයරයක් සහ උණ පතුරු 02 ක් ද පොලිසය විසින් සොයාගෙන තිබෙනවා.
මියගිය රැඳවියාගේ මෘත ශරීරය ඔහුගේ බාල සොයුරා සහ මිතුරන් විසින් හඳුනාගෙන ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටද නියමිතව තිබෙනවා.
මේ අතර අදාළ සිද්ධිත් සමග පළාගිය පුනුරුත්ථාපන කඳවුරේ රැඳවියන් 679 දෙනෙකු නැවතත් අත්අඩංගුවට ගැනීමෙන් සහ භාරවීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
කඳවුරේ සිටි රැඳවියන් 998 දෙනාගෙන් 272 දෙනෙකු මේ වනවිට කඳවුර භාරයේ සිටින අතර තවත් රැඳවියන් 44 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සහ යුධ හමුදාව මෙහෙයුම් සිදුකරමින් පවතිනවා.
ඔවුන් පිළිබඳ කිසියම් තොරතුරක් වෙතොත් 071 යි 859 යි 12 යි 35 යන අංකයෙන් වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දෙන ලෙසයි මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.
මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේ වාර්තාව ලබන සඳුදා තමන් වෙත ලැබෙන බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්, මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ උසස් නිළධාරියෙකුගෙන් සමන්විත 04 දෙනෙකු මෙම විමර්ශනය සඳහා පත් කළ බවයි.
එමෙන්ම විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශන කණ්ඩායමක් එම මධ්‍යස්ථානය වෙත ගොස් තිබුණා.
