කඩවත ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ ඊයේ රාත්‍රී කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ මහර 09 කණුව අසලදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
මියගොස් ඇති දෙදෙනා යතුරුපැදියකින් ගමන් කරමින් සිට ඇති අතර තවත් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ටී 56 ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර තිබෙනවා.
වෙඩි ප්‍රහාරයෙන් පසු බරපතල තත්වයේ පසුවූ තුවාලකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු කොළඹ ජාතික රෝහලට සහ අනෙක් පුද්ගලයා කිරිබත්ගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කලා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 30 හා 31 වයස්වල පසුවන පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.
ඔවුන්ගේ මෘත ශරීර කිරිබත්ගොඩ රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර තිබෙනවා.
මෙය සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර ඇතිවූ ආරවුලක් මත සිදුවූ වෙඩි තැබීමක් වන්නට ඇති බවටයි පොලිසිය සැක පළකරන්නේ.
වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් පිළිබඳ මෙතෙක් හඳුනාගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලිසියයි විමර්ශන මෙහෙයවන්නේ.