අප්‍රිකානු කලාපයේ පැතිර යන ඔමික්‍රොන් කොවිඩ් වෛරස් ප්‍රභේදය හමුවේ සිම්බාබ්වේ හි පැවැත්වෙන කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය පැවැත්වීම අවිනිශ්චිත තත්වයකට පත්ව තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිළ අතර අද හරාරේ නුවරදී පැවැත්වීමට නියමිතව තිබූ තරගය ද අවලංගු කෙරුණා.
කෙසේවෙතත් තරග කාලසටහනට අනුව අද දිනයේදී පැවැත්වීමට නියමිතව තිබූ තායිලන්තය සහ අමරිකාව අතර තරගයත් පකිස්තානය සහ සිම්බාබ්වේ අතර තරගයත් නියමිත පරිදි පවත්වා තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිළධාරි ඈෂ්ලි ද සිල්වා උපුටා දක්වමින් ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කලේ සියලුම කණ්ඩායම් තවමත් සිම්බාබ්වේ හි රැඳී සිටින බවයි.
තරගාවලිය ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බවද ඔහු සඳහන් කලා.
මෙම තරගාවලියට සහභාගීවීමට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 03 දෙනෙකුට කොවිඩ් ආසාධනය වී ඇතැයි මීට සතියකට පමණ පෙර තහවුරු වුණා.
ඔමික්‍රොන් ප්‍රභේදය හමුවේ දකුණු අප්‍රිකාව – සිම්බාබ්වේ – ලෙසොතෝ – නැමීබියාව – ස්වාසිලන්තය සහ බොට්ස්වානා යන රටවලින් පැමිණෙන පුද්ගලයන්ට අද මධ්‍යම රාත්‍රියේ සිට රටට ඇතුලුවීම සඳහා අවසර නොදීමටද ශ්‍රී ලංකාව තීරණය කරනු ලැබුවා.