උසස් පෙළ විභාගයේ ඇගයීම් සඳහා ගුරුවරුන්ගෙන් මාර්ගගත ක්‍රමයට අයැදුම් පත් කැඳවීමේ කාලය දීර්ඝ කර තිබේ.
එම කාලය ඊයේ (02) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබුණි.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, හෙට (04) මධ්‍යම රාත්‍රී 12 දක්වා එම කාලය දීර්ඝ කළ බවයි.
උසස් පෙළ විෂයන් 12කට අදාළව පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා ගුරුවරුන්ට තවදුරටත් අයැදුම් කිරීමේ අවස්ථාව පවතින බව ඔහු ප්‍රකාශ කළේ ය.
මේ යටතේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ගණිතය, කෘෂි විද්‍යාව, ජීව විද්‍යාව, සංයුක්ත ගණිතය, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, ව්‍යාපාර අධ්‍යයනය, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය, තාක්ෂණවේදය හා විද්‍යාව සහ ඉංග්‍රීසි යන විෂයන්වලට අදාළව ගුරුවරුන්ගෙන් මෙම අයැදුම්පත් කැඳවෙනු ඇති.
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා විශ්‍රාමික ගුරුවරුන්ට ද ඒ සඳහා අයැදුම් කළ හැකියි.
විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, 2022 වසරේ දෙසැම්බර් මස 31 දිනට පසු විශ්‍රාම ගිය ගුරුවරුන්ගෙන් එලෙස අයැදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ කැඳවන බවයි.
මේ අතර උසස් පෙළ විෂයන් දෙකකට අදාළ පිළිතුරු පත්‍ර ඇගයීම මේ වනවිට ආරම්භ කර ඇත.
තවත් විෂයන් 8 කට අදාළ පිළිතුරු පත් ඇගයීම ඉදිරි දින කිහිපයේදී ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.
මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයාගෙන් තමන් ඉල්ලූ සාකච්ඡාව සඳහා දිනයක් මෙතෙක් ලැබී නොමැති බවයි.
සාකච්ඡාව ලබා දෙන තෙක් පිළිතුරු පත් ඇගයීමට සම්බන්ධ නොවන බව එම සම්මේලනය ප්‍රකාශ කළේ ය.
උසස් පෙළ පිළිතුරු පත් ඇගයීමේ ක්‍රියාවලිය නිසි ලෙස ආරම්භ කිරීමට නොහැකි වී මේ වනවිට මාස දෙකහමාරකට අධික කාලයක් ගතවී අවසන් ය.