ඉදිරි සෑම මැතිවරණයකදීම ‘උත්තර ලංකා සභාගය’ ලෙස අනිවාර්යයෙන්ම වෙනම තරඟ කරන බව එහි සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
මෙම සභාගයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධ කරගැනීමේ කිසිඳු අදහසක් නොමැති බවත්, එහි සිටින සුජාත භාවයක් ඇති පිළිගත හැකි පිරිස් පැමිණියහොත් සාදරයෙන් පිළිගන්නා බව ද සභාපතිවරයා සඳහන් කළේය.
එසේ වුවත් පැමිණෙන ඕනෑම අයෙක් උත්තර ලංකා සභාගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයනයට එකඟ විය යුතු බව ද හෙතෙම කීවේය.
විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ බොරැල්ලේ පිහිටි කොමියුනිස්ට් පක්‍ෂ මූලස්ථානයේ දී අද (9) පැවැත්වූ ‘උත්තර සභාගයේ’ පළමු මාධ්‍ය හමුව අමතමිනි.
මෙම සභාගය සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්වන්නේ නැද්දැයි මාධ්‍යවේදියකු මෙහිදී නැගූ පැනයකට පිළිතුරු දුන් විමල් වීරවංශ මහතා පැවසුවේ එය එහි නායකයන්ගෙන් ඇසිය යුතු බවයි.
මේ වෙලාවේ රට ඉබාගාතේ ගෙනයාම වරදක් බව කී මන්ත්‍රීවරයා අර්බුද සමනය වූ වහා මහ මැතිවරණයකට ගොස් ජනතාව කැමති නායකත්වයත් තෝරාගැනීමට අවස්ථාව දිය යුතු බව ද ප්‍රකාශ කළේය.
