විභාග දෙපාර්තමේන්තුවෙන් විභාග පැවැත්වීමේදී ඉගෙනුම් අහිමිවීම පිළිබද සලකා බලා දරුවන්ට අසාධාරණයක් නොවන ලෙස ප්‍රශ්න පත්‍ර සැකසීමේ අවශ්‍යතාව කෝපා කමිටුව අවධාරණය කර තිබෙනවා.
2020 වසරේදී සිසු දරුවන්ගේ ඉගෙනුම් අහිමිවීම 54% ක් ලෙස සහ 2021 අගෝස්තු වන විට 88% ක් ලෙස ගණන් බලා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
මෙවැනි තත්ත්වයක් තුළ ඒ සදහා ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව මනා සම්බන්ධීකරණයෙන් මේ සදහා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ක්‍රියාත්මක කරන ලෙස කමිටුව මෙහිදී නිර්දේශ කර තිබෙනවා.
පැවති කොවිඩ් තත්ත්වය සහ ආර්ථික අර්බුදය හමුවේ අධ්‍යාපන ක්ෂේත්රයේ ඉදිරි සැලසුම් පිළිබද විමසා බැලීම සදහා කෝපා කමිටුව හමුවට අධ්‍යාපන බලධාරීන් කැඳවූ අවස්ථාවේදී මේ බව සඳහන් කෙරුණා.
සමස්තයක් ලෙස ගත් විට අධ්‍යාපන ක්ෂේත්රයේ ඉතා බැරෑරුම් හා සංකීර්ණ ක්‍රියාවලියකට අවතීර්ණවීමට සිදුව ඇති බවත් කොවිඩ් තත්ත්වයටත් වඩා ආර්ථික අර්බුදය හමුවේ උද්ගතව ඇති තත්ත්වය කළමනාකරණය කර ගැනීම අපහසුව ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන් රණසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කලා.
නියමිත දින ගණන පාසැල් පැවැත්වීමට නොහැකිවීම නිසා පවතින සීමිත කාලසීමාව තුළ විෂය නිර්දේශය ආවරණය කිරීමට නොහැකිවීම, පවතින ඉන්ධන හිගය, දරුවන්ගේ පවුලේ ආර්ථික අපහසුතා, දෙමාපියන්ට රැකියා අහිමිවීම ආදිය බරපතල ගැටලූවක් වෙමින් පවතින බව ලේකම්වරයා පෙන්වා දුන්නා.
මාර්ගගත තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම් සිදු කළද ග්‍රාමීය වශයෙන් විවිධ දුෂ්කරතා පවතින බවත් ඉගෙනුම් ක්‍රියාවලියේදී මාර්ගගත ක්‍රමය දීර්ඝකාලීනව සිදුකිරීම සිසු දරු දැරියන් සදහා සාර්ථක ක්‍රමයක් නොවන බවත් මෙහිදී නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.
සීමිත කාලයක පාසැල් පැවැත්වීම නිසා සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීමට නොහැකි තත්ත්වයක විෂය නිර්දේශයේ වපසරිය සීමා කිරීමේ අවශ්‍යතාව පිළිබදවද කමිටුවේ විශේෂ අවධානය යොමුවුණා.
පවතින ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ළගම පාසැලට දරුවන් තාවකාලිකව අනුයුක්ත කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන බවත් එය මෙම වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් මෙහිදී අනාවරණය වුණා.
