අද (ජනවාරි 02 වනදා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය මගින් විදුලි ඒකකයක් සඳහා අය කරනු ලබන ගාස්තුව සහ ස්ථාවර ගාස්තුව වැඩි කිරීමට යෝජනාකර තිබේ.
මේ අනුව මුල් ඒකක 30 සඳහා දැනට අය කරන රුපියල් 8ක අවම ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි කිරීමට යෝජනා කරනු ඇති බව වාර්තා වෙයි.
විදුලිබල මණ්ඩලය විසින් එම විදුලි ගාස්තු සංශෝධනය ඉදිරිපත් කර ඇත.
ඒකක 31 සිට 60 දක්වා දැනට එක් ඒකකයකට රුපියල් 10ක් අය කරන අතර එය රුපියල් 37 දක්වා වැඩි කිරීමටත් 61 සිට 90 දක්වා කාණ්ඩය යටතේ දැනට අය කරන රුපියල් 16 ක ගාස්තුව රුපියල් 42 දක්වා වැඩි කිරීමටත් යෝජිතය.
ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයට අදාළව එක් ඒකකයට දැනට අය කරන රුපියල් 50ක ගාස්තුව එලෙසම පවත්වාගෙන යාමටත් ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩයටද දැනට අය කරන රුපියල් 50ක ගාස්තුව එලෙසම පවත්වාගැනීමටත් යෝජනා කර තිබේ.
එසේම ඒකක 181ට වැඩි සෑම ඒකකයක් සඳහා රුපියල් 75ක් දැනට අය කරන අතර එම ගාස්තුවද කිසිදු වෙනසක් සිදුකර නොමැත.
එසේම මුල් ඒකක 30 සඳහා දැනට අය කරන රුපියල් 120ක ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වාත් ඒකක 31 සිට 60 දක්වා කාණ්ඩයට අය කළ රුපියල් 240ක ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වාත් ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩයට අය කෙරෙන රුපියල් 360 සිට 650 දක්වාත් වැඩි කිරීමට යෝජිත වෙයි.
එමෙන්ම ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයට අය කෙරෙන රුපියල් 960ක ස්ථාවර ගාස්තුව රුපියල් 1,500 දක්වා වැඩි කිරීමටත් ඒකක 121 සිට 180 දක්වා දැනට අයකෙරෙන ස්ථාවර ගාස්තුව ද රුපියල් 960 සිට 1,500 දක්වා වැඩි කිරීමටත් යෝජනා වී තිබේ.
ඒකක 181ට වැඩි විදුලි පරිභෝජනය කරන සෑම පුද්ගලයෙකුගේම ස්ථාවර ගාස්තුව රුපියල් 1,500 සිට 2,000 දක්වා වැඩි කිරීමටත් යෝජනා වී ඇත.
කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා අදහස් දැක්වීය.
එහිදී අදහස් දක්වමින් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා පැවසුවේ ඒකක 0 සිට 30 දක්වා පාරිභෝගිකයින් සඳහා විදුලි බිල සියයට 2000කින් ඉහළදැමීමට යෝජනා කර ඇති බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා,
“කැබිනට් මණ්ඩලයට යන විදුලිය පිළිබඳ සංශෝධනයේ ගණන් මිණුම් ටිකක් ඇනලයිස් කරා ඊයේ.. යෝජනා කරන්න යන්නේ ඒකක 0-30ත් 31-61ත් 61-90ත් ඒ වගේම 91-120ත් අතර පරිභෝගිකයින්ගේ විදුලි බිල වැඩිකිරීම සම්බන්ධයෙන් තමයි මේකේ යෝජනාව තියෙන්නේ. මම හිතන්නේ මේක එච්චර හොඳ කාරණාවක් නෙමෙයි. ඒකට හේතුව තමයි අපි දන්නවා. පාරිභෝගිකයින් ගෙවන ප්‍රතිශතය 0-30ත් අතර විදුලි ගාස්තුව සාමන්‍යයෙන් 2003කින් පමණ වැඩිකිරීමට තමයි මේකේ යෝජනා කරලා තියෙන්නේ. ඒකක 90ට වඩා අඩුවෙන් පාවිච්චි කරන ලක්ෂ 50ක් විතර ලංකාවේ ඉන්නවා. මේ අය තමයි අඩුආදයම් ලබන පාරිභෝගිකයින්. මෙයාලගේ විදුලි බිල මේ විදිහට වැඩි කරොත් එහෙම අපි දන්නවා මේ තියෙන අපහසුකම් මධ්‍යයේ මේ ජනතාවට මේ විදුලි බිල ගෙවාගැනීමේ හැකියාවක් නැහැ. 0-30 අතර සියයට 2000 ගුණයකින් වැඩිකිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ 31-60ත් අතර ඒකක 120ට වඩා අඩුවෙන් පාවිච්චිකරන සියලුම පාරිභෝගිකයින්ගෙන් ඊළඟ අවුරුද්දේ බිලියන 80ක පමණ අමතර ආදායමක් ලබාගැනීමට තමයි මේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ. මේක අසාධාරණ යෝජනාවක් නිසා මේ අවස්ථාව වන විට පසුගිය මාස 4 ඇතුළත්, මේ මාසයේ ඇතුළත් ලංකා විදුලිබල මණ්ඩය මෙහෙයුම් ලාභයක් ලබනවා.”
