2019 වසර අවසානයේ නව ආණ්ඩුවේ බදු ප්‍රතිපත්ති වෙනස් වීම හේතුවෙන් රුපියල් බිලියන 500 කට ආසන්න මුදල් ප්‍රමාණයක් රටට අහිමි වූ බව ප්‍රකාශ කිරීම සාධාරණ නොවන බව මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් සජිත් ආටිගල මහතා පවසනවා.
ඒ සඳහා වාහන ආනයනය නතර කිරීම ඇතුළුව පනවනු ලැබූ ආනයන සිමා හේතුවෙන් ඇති වූ පාඩුව සහ කොවිඩ් තත්ත්වය හේතුවෙන් ඇති වූ ආර්ථික සංකෝචනය ඇතුලූ හේතුන් බලපෑ බවයි ඔහු සඳහන් කලේ.
රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමට එක්වෙමිනුයි හිටපු මුදල් ලේකම්වරයා මේ බව කියාසිටියේ.
හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුද හිටපු මුදල් මණ්ඩල සාමාජිකයන්, වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු මහ බැංකුවේ ඉහළ නිලධාරීන් මෙම රැස්වීමට සහභාගීව සිටියා.
මෙහිදී අදහස් දැක්වූ වත්මන් මහ බැංකු අධිපති (ආචාර්ය) නන්දලාල් වීරසිංහ මහතා පවසා සිටියේ රජයේ වගකිව යුතු නිලධාරීන් දේශපාලනය කිරීමෙන් වැළකිය යුතු බවයි.
දේශපාලනඥයන් විසින් ගනු ලබන තීරණ නිවැරදි නොවන අවස්ථාවන්හීදී එය පැවසීම නිලධාරීන්ගේ වගකීම සහ යුතුකම වන බවත්, එවන් තීරණවලට ලැබෙන ප්‍රතිඵල සඳහා දේශපාලනඥයන් පමණක් වග නොකිය යුතු බවත් ඔහු අවධාරණය කලා.
වසර දෙකක් යන තුරු රටේ ආර්ථිකය නිසි මාර්ගයේ ගමන් නොකළ බව මෙන්ම රටේ ආර්ථිකය බිඳ වැටෙනතුරුම තමන් දැනුවත් නොවූ බවත් දේශපාලන අධිකාරියේ තීරණ මත පමණක් පදනම්ව එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා යැයි පැවසීම අනුමත කළ නොහැකි බවත් මෙහිදී වීරසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නා.
මෙම කාරක සභාවට සහභාගී වූ මන්ත්‍රීවරුන් පැවසුවේ තමන් මෙම ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඇතිවිය හැකි අතුරු ප්‍රතිපල පිලිබඳ විවිධ අවස්ථාවන්වලදී වගකිව යුතු නිලධාරීන්ට සහ එවකට දේශපාලන බලාධිකාරියට පැවසුවද කිසිවෙක් ඒ පිළිබඳ අවධානය යොමු නොකළ බවයි.
