අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව චෝදනා පත්‍ර දෙකක් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.
අධිකරණයට අපහාස කළේ යැයි කියන චෝදනා කරමින් ප්‍රියලාල් සිරිසේන, විජිත කුමාර යන නීතිඥවරු සහ ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය විසින් ගොනු කර තිබෙන පැමිණිලි තුනත් අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරිය අභියාචනාධිකරණයට එම දැනුම්දීම සිදුකළා.
මෙහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩු කරයට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ඒකකය වෙතින් වීඩියෝ පටයක් කැදවා තිබුණද එම වීඩියෝ පටය මෙතෙක් ලැබී නොමැති බව සඳහන් කළා.
මෙම නඩුකරයට පාදක වන වගඋත්තරකාර සනත් නිශාන්ත මහතා අදාළ ප්‍රකාශය සිදු කළ බවට පිළිගැනීමක් නොකරන්නේ නම් ඔහු සම්බන්ධයෙන් කටහඬ පරීක්ෂණයක් සිදු කිරීමට අවසර දෙන ලෙසත් රජයේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලීම් කළා.
එම ඉල්ලීමට සනත් නිශාන්ත මහතා වෙනුවෙන් පෙනී සිටි ෆයිස් මුස්තාපා, සහ ෆයිසර් මුස්තාපා යන ජනාධිපති නීතිඥවරු විරෝධය පළ කර සිටියා.
කෙසේ වෙතත් දැනට පැමිණිල්ල භාරයේ පවතින විවිධ මාධ්‍ය ආයතනවලින් කැඳවූ වීඩියෝ පට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර වාර්තා කැඳවීමට පියවර ගන්නා ලෙස අධිකරණය විසින් රජයේ නීතිඥවරියට දැනුම් දුන්නා.
ඉන් අනතුරුව මෙම කටයුතුවල ප්‍රගතිය විමසීම සඳහා අදාළ පැමිණිල්ල නැවත මාර්තු මස 28 වනදා කැඳවන ලෙසත් අධිකරණය නියෝග කළා.
ඉකුත් අගෝස්තු මස 23 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අරගල කරුවන්ට ඇප දීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සනත් නිශාන්ත මහතා සිදු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බැවින් ඔහුට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා මෙම පැමිණිලි අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
