අද දිනයේ දිවයින පුරා විදුලිය විසන්ධි කිරීම පැය 01 යි විනාඩි 40 කට සීමාවන බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරනවා.
අවශ්‍ය ඉන්ධන තොග බලාගාර වෙත ලැබීම මෙන්ම ඉරිදා දිනයේ ඉල්ලුම අඩුවීම හමුවේ මෙම තීරණය ගත් බවයි කොමිසම දන්වා සිටින්නේ.
අද දිනයේ පැය 06 ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම මීට පෙර සඳහන් කර තිබුණා.
කෙසේවෙතත් අද පස්වරු 05.30 සිට රාත්‍රී 10.30 දක්වා කාලය තුළ පැය 01 යි විනාඩි 40 ක විදුලි කප්පාදුවක් පමණක් සිදු කිරීමට නියමිතයි.
ඒ අනුව ඒ – බී – සී – ඩී – පී – කිව් සහ ආර් කලාපවලට සවස 05.30 සිට රාත්‍රී 07.10 දක්වාත් / ඊ – එෆ් – ජී – එච් – එස් – ටී සහ යූ කලාපවලට රාත්‍රී7.10 සිට රාත්‍රී 8.50 දක්වාත් / අයි – J – කේ – එල් – වී සහ ඩබ්ලිව් කලාපවලට රාත්‍රී 8.50 සිට රාත්‍රී 10.30 දක්වාත් විදුලිය කපා හැරෙනු ඇති.
මේ අතර ඉදිරි දින කිහිපයේදී විදුලි කප්පාදු කාලසීමාවන් සැළකිය යුතු මට්ටමකින් අඩුකිරීමට හැකි වනු ඇතැයි මහජන උපයෝගීතා කොමිසම විශ්වාසය පළකරනවා.
විදුලිබල හා බලශක්ති යන අමාත්‍යංශ දෙකෙහිම ලේකම්වරුන් විසින් කොමිසමට ලිඛිතව දන්වා එවා ඇත්තේ ඉදිරි දින කිහිපයේදී විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන සැපයීමට හැකි බවයි.
ඊයේ දිනයේදී ඉන්දීය ණය ආධාර යටතේ ඩීසල් මෙට්‍රික් ටොන් 12,000 ක්ද අයි ඕ සී සමාගමෙන් තවත් ටොන් 6000 ක්ද ලැබී තිබුණා.
ලබන අගහරුවාදා සහ බදාදා දිනවලදී ඉන්දීය ණය ආධාර යටතේ තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 12,000 ක්ද ලබන බ්‍රහස්පතින්දා වනවිට දැවි තෙල් මෙට්‍රික් ටොන් 25,000 ක්ද මණ්ඩලයට ලැබීමට නියමිතව තිබෙනවා.
මේ අතර නියමිත පරිදි ඉන්ධන තොග ලැබෙමින් පැවතීම සැලකිල්ලට ගනිමින් විදුලිය කප්පාදු කරන කාලය අද සිට අවම කිරීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විදුලිබල අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මියට උපදෙස් දී තිබෙනවා.
විදුලිය කප්පාදු කරන කාලය ඉහළ යෑම හේතුවෙන් ජනතාවගේ දෛනික ජීවිතය මුහුණ පා ඇති ගැටලූ අවම කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් දී ඇතැයි සඳහන්.
